රජයේ භාෂා පරිවර්තක පත්වීම් ප්රදානය කරමින් අගමැති කියයි
රජයේ විභාගවල ලකුණු වෙනස් කිරීමට ඇමැතිවරුන්ට නොහැකි බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ලකුණු කඩඉමේ සිට පහතට ගමන් කිරීමෙන් ඉතුරු වෙන අය ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීම බව හෙතෙම පැවසීය.
භාෂා පරිවර්තක සේවයේ විභාගවලින් සමත්වූවන්ට රජයේ භාෂා පරිවර්තක සේවයේ පත්වීම් ප්රදානෝත්සවය අරලියගහ මන්දිරයේ පසුගියදා (05) පැවැත්වුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
අපේ රට මව් භාෂා දෙකම භාවිතා කරන ජනතාව ඉන්න රටක් නිසා භාෂා පරිවර්තනයේ දී සැලකිලිමත් විය යුතුයි. ආර්ථිකයට,සේවාවට සහ ජන ජීවිතයට භාෂා පරිවර්තනය වැදගත් නිසා එය වඩාත් පහසු කිරීමට ඔබ මෙලෙස දෙපාර්තමේන්තුව විසින් පවත්වන විභාගයක් පවත්වා අදාළ පුහුණු කිරීම්වලට යටත්ව එලෙස පරිවර්තනය කිරීමේ කර්තව්‍යයට එක්වෙනවා. ලිඛිත භාෂාව වගේම අපි කතා කරන භාෂා විවිධ ප්‍රදේශ අනුව උච්චාරණය වෙනස්. එවැනි අත්දැකීම් විවිධ ප්‍රදේශ කරා ගමන් කරන ඔබට ලැබෙයි.
සිංහල බස වුණත් සරලව කතාකළොත් දකුණු පළාතට ගියාම උච්චාරණය වෙනස්. ඈත ගමකට ගියාම උච්චාරණය වෙනස්. තරුණ ළමයි මේක වැඩි අවධානයක් ගන්නේ නැතිව ඇති. ඒ වගේම තමයි දෙමළ භාෂා ප්‍රදේශ අනුව නැඟෙනහිර පළාත, උතුරු පළාත, කන්ද උඩරට යම් යම් ප්‍රදේශවල උච්චාරණය වෙනස්.ක්‍රමානුකූලව තුනී වෙමින් එක ලෙස භාෂාව උච්චාරණය කිරීමේ කාල පරිච්ඡේදයකට අප පැමිණෙමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ හැම කාර්යාලයකම භාෂා පරිවර්තනය කිරීමේ හැකියාව ඇති අය සිටිය යුතුයි. එහි අඩුවක් තිබෙනවා නම් එය සම්පුර්ණ කිරීමට අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හැටියට බැඳී සිටිනවා. නමුත් රජයේ විභාගවල ලකුණු වෙනස් කරන්න ඇමැතිට බැහැ. ඒක මම නිහතමානීව ප්‍රකාශ කරන්න ඕනෑ.
රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර,ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල් එස්, ආලෝක බණ්ඩාර මහත්වරුන්ද, අතිරේක ලේකම්වරුන් සහ පත්වීම්ලාභින් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – සුදත් නිශාන්ත
නුවන් කොඩිකාර