කෝපා කමිටුවේදී හෙළි වෙයි
ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට 2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිල දී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 50,000ක් පමණ වුවද මිල දී ගෙන ඇත්තේ රු. මිලියන 1.5කට පමණ (ලක්ෂ 15ක්) බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තුගත මුදලට වඩා මිල දී ගෙන ඇති මුදල 3000%ක පමණ වැඩි වීමක් බවද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී හෙළි විය.
මේ ප්‍රසම්පාදනයේදී සැපයුම්කරු විසින් පක්ෂීන් වර්ග 32ක්ම සැපයිය යුතුය යන කොන්දේසිය හේතුවෙන් වැඩි මිල ගණන් යටතේ පක්ෂීන් මිල දී ගැනීමට සිදු වීම නිසා රු. මිලියන 17කට ආසන්න අලාභයක් සිදු වීම කෙරෙහි කමිටුවේ අවධානය යොමු විය.ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය පිළිබඳ විමර්ශනය සදහා රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පසුගිය (5) වැනිදා රැස් වූ අවස්ථාවේ මේ කරුණු අනාවරණය විය. මේ මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත වියදම සහ සැබෑ වියදම අතර මෙතරම් විශාල ප්‍රමාණයක වෙනසක් තිබීම ගැටලු සහගත බව කමිටුව අවධාරණය කළේය.
අදාළ විෂය සහ වෙළඳපොළ සම්බන්ධ අවබෝධය මේ දෙපාර්තමේන්තුව සතු බැවින් තක්සේරු මුදල සහ සැබෑ වියදම අතර මෙතරම් ඉහළ අගයක් පැවතීම පිළිබදව කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදි. එබැවින් මේ පිළිබඳ වාර්තාවක් දෙන ලෙසත් නිවැරදි තක්සේරුකරණයේ අවශ්‍යතාව අවධාරණය කරමින් ඉදිරියේදී අභ්‍යන්තර චක්‍රලේඛයක් නිකුත් කරන ලෙසත් කෝපා සභාපතිවරයා අවධාරණය කළේය.
අලුතින් එක් වූ සත්ත්වෝද්‍යාන ඇතුළු කරුණු පනතට කඩිනමින් ඇතුළත් විය යුතු බැවින් පනත කඩිනමින් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කිරීමෙන් ඉදිරි මාසයක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙසත් මේ පිළිබඳ වාර්තාවක් 2023 අගෝස්තු 5ට පෙර ලබා දෙන ලෙසත් කෝපා සභාපතිවරයා උපදෙස් දුන්නේය. සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අදායම නිසි පරිදි වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් අතර, මේ අනුව ටිකට්පත්වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම්වලින් ලැබෙන ආදායම් වෙන් වෙන්ව ඉදිරිපත් කරන ලෙස විගණකාධිපතිවරයා උපදෙස් දුන්නේය.
ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර