Saturday, May 10, 2025
Home » රාජ්‍ය නායකයන් රැසකට සෙව‍ණ දුන් විසුම්පාය සුපිරි හෝටලයක්  වෙයි

රාජ්‍ය නායකයන් රැසකට සෙව‍ණ දුන් විසුම්පාය සුපිරි හෝටලයක්  වෙයි

by gayan
July 8, 2023 1:00 am 0 comment

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ ‘විසුම්පාය‘ සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට යයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට නාගරික සංවර්ධන අධිකාරිය සහ Azotels Hospitility limited ආයතනය නාගරික සංවර්ධන අධිකාරි ශ්‍රවණාගාරයේදී ඊයේ (7) අත්සන් තැබීය. ගිවිසුමට අත්සන් තැබුවේ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා හා හොංකොන් Azotels Hospitility limited ආයතනයේ සභාපති ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) මහතායි.විසුම්පාය ගොඩනැගිල්ල Azotels Hospitility limited ආයතනය වෙත වසර 50ක බදු පදනම යටතේ පවරා ඇත. Azotels Hospitility limited ආයතනය, හුනාස් හෝල්ඩින් පෞද්ගලික සමාගම, ජපානයේ හවුල්කාර කොස්ටියුම් (Consortium) සමඟ මෙය සුපිරි හෝටලයක් ලෙස පවත්වාගෙන යනු ඇත. නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි පෞරාණික වටිනාකමක් සහිත ඉඩම් සහ ගොඩනැගිලි පෞරාණිකත්වයට හානි නොවන ලෙස ආයෝජන සඳහා යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. විසුම්පාය ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් බවට පත් කරන්නේ එම වැඩසටහනේ යටතේයි. රටේ තිබෙන ආර්ථික තත්ත්වය පදනම් කර ගනිමින් මෙවැනි පෞරාණික ගොඩනැගිලි පුද්ගලික හා පොදු හවුල්කාරීත්වය යන ක්‍රමයට නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් වියදම් නොකර සංවර්ධනය කිරීම මෙහි අරමුණයි. පරිසර හිතකාමී ඉහළ මට්ටමේ බුටික් හෝටලයක් (Boutique Hotel) ලෙස මෙය සංවර්ධනය කෙරෙන අතර, මෙහි ඉහළ මට්ටමේ සංචාරකයන් සඳහා නවාතැන් ගැනීම සඳහා සුඛෝපභෝගී කාමරද, පොදු ප්‍රදේශ හා අවන්හල්වලින් සමන්විතය. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, Hunas Holding PLC ආයතනයේ සභාපති ධනුක සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT