Sunday, May 11, 2025
Home » දළදා ආරක්ෂිතයට ඩ්‍රෝන කැමරාවක් යැවූ අමෙරිකානුවා දැලේ

දළදා ආරක්ෂිතයට ඩ්‍රෝන කැමරාවක් යැවූ අමෙරිකානුවා දැලේ

by gayan
July 8, 2023 1:00 am 0 comment

මහනුවර අවන්හල පරිශ්‍රයේ සිට ශ්‍රී දළදා මාලිගා අධි ආරක්ෂිත කලාපයට ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවූ බව කියන අමෙරිකානු ජාතික‍යකු දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (7) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය තුළ ඩ්‍රෝන කැමරා පියාසර කරවීමට

සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් හෝ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අවසර නොදෙන තත්ත්වයක් තිබියදී මේ විදේශීය ජාතිකයා ඩ්‍රෝන කැමරාව දළදා මාලිගා පරිශ්‍රයට යොමු කර තිබෙන බව පොලිසිය පවසයි.

මෙලෙස අවසර දීමක් සිදු නොකළද දළදා මාලිගා පරිශ්‍රයට ඩ්‍රෝන කැමරා යැවූ පුද්ගලයෝ පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම පොලිස් අත්අඩගුංවට පත් වූහ. ගුවන් හමුදා නිලධාරීන් ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා යොදවා සිටියද දළදා මාලිගා පරිශ්‍රයේ ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වළක්වාගැනීමට හැකියාව නැති බව දැනගන්න තිබේ.

ඩ්‍රෝන කැමරා නිරීක්ෂණය කිරීමේ රේඩාර් පද්ධතිය මිහිරිගම ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කර තිබෙන අතර, දළදා මාලිගා පරිශ්‍රයට කවුරුන් හෝ ඩ්‍රෝන කැමරාවක් යොමු කළ හොත් එය අක්‍රීය කිරීමට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් පැමිණීමට අවශ්‍ය බව පරීක්ෂණ මඟින් හෙළිව ඇත. මේ හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂාව සඳහා ගැටලුකාරි තත්ත්වයක් ඇති බැවින් ඩ්‍රෝන කැමරා පියාසර කිරීම වැළැක්වීමට ඩ්‍රෝන ජෑමර් (Drone jammer) උපකරණයක් සවි කළ යුතු බව ආරක්ෂක අංශ පෙන්වා දී තිබේ. මේ උපකරණ විශේෂ අවස්ථාවල පමණක් දළදා මාලිගා පරිශ්‍රයේ සවි කරන බව ද දැන ගැනීමට තිබේ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT