බදු ගෙවීම පැහැරහැර ඇති මත්පැන් ආයතනවලින් අයවිය යුතු රුපියල් කෝටි 60 ඉදිරි දෙසතිය තුළ ගෙවන ලෙස එම සමාගම්වලට දැනුම් දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එලෙස එම මුදල් ගෙවීම ඔවුන් තවදුරටත් පැහැර හරින්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගනු ඇතැයිද ඇමැතිවරයා පැවැසීය. රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේ සුරාබදු සැරයන්වරුන්ට ස්වර්ණ සම්මාන පිරිනැමීම වෙනුවෙන් සුරාබදු මූලස්ථානයේ ඊයේ (7) පැවති උත්සවයට එක් වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
ඩබ්.එම්. මෙන්ඩිස් සමාගම, වයඹ ඩිස්ටිලරීස් පෞද්ගලික සමාගම, වයඹ ස්පිරිස්ට්ස් සමාගම, ග්ලෝබ් බ්ලෙන්ඩර්ස් සමාගම, මැකලම් බෲවරී සමාගම (ලයන් බෲවරී සමාගම), සමුපකාර ස්කාගාරය කළුතර, ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම (රන්දිය) සින්ඩි ඩිස්ටලරීස් සමාගම, රන්දෙණිගල නිෂ්පාදනාගාරය යන සමාගම්වලින් නොගෙවන ලද බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු මුදල් රුපියල් කෝටි 600 අය කරගැනීමට නියමිතය.
එමෙන්ම මේ වන විට වරාය අංගනයේ උද්ගත වී තිබෙන කන්ටේනර් පෝලිම ඊයේ දිනය තුළ අවසන් කරන ලෙස උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පැවසීය. රේගු නිලධාරීන් රාත්‍රී දෙක පමණ වන තෙක් රාජකාරි සිදු කර ඇති බව කී රාජ්‍ය ඇමැතිවරයා වාප්පු ලිපිකරුවන් පැමිණීමේ ප්‍රමාදයක් හේතුවෙන් එම කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද වී ඇති බව දැකගන්න ලැබුණු බවත් කියා සිටියේය. නිවාඩු දින කිහිපයක් යෙදීම හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇති වී ඇති බව වාර්තා වී ඇති බවත්, කෙසේ වෙතත් යළි මෙවැනි ප්‍රමාදයක් සිදු නොවන ලෙස කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන් බවත් කී රාජ්‍ය ඇමැතිවරයා හිතා මතා යම් කිසිවකු එවැනි දේ සිදු කර ඇති බවට වාර්තා වන්නේ නම් වහාම පියවර ගන්නා ලෙස උපදෙස් දුන් බවත් කීවේය.
සුභාෂිණී සේනානායක