Sunday, May 11, 2025
Home » කොදෙව්වන් කඩුලු 8කින් පරදවා අපරාජිතව අවසන් තරගයට ගිය ශ්‍රී ලංකාව හෙට නෙදර්ලන්තය සමඟ ගැටෙයි

කොදෙව්වන් කඩුලු 8කින් පරදවා අපරාජිතව අවසන් තරගයට ගිය ශ්‍රී ලංකාව හෙට නෙදර්ලන්තය සමඟ ගැටෙයි

by gayan
July 8, 2023 1:00 am 0 comment

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්ථාන 2ක් වෙන් කර ගැනීම සඳහා සිම්බාබ්වේදී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ අවසන් තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මේ ජය සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ අපරාජිතයන් ලෙස අවසන් තරගයට එක්වීම කැපී පෙනෙයි.

හරාරේහිදී ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල ලකුණු 243කට සීමාකළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 44.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ තරගාලියේදී ශ්‍රී ලංකා පිලට එරෙහිව කණ්ඩායමක් ලකුණු 200 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න අගනා සබඳතාවක් ගොඩනැඟුවේ ලකුණු 190කිනි.

මේ තරගාවලියේ පිට පිට දෙවැනි ශතකය වාර්තා කළ නිශ්ශංක දැවීයෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, ඉන් ලකුණු 14කට පසු දිමුත්ගේ ඉනිම අවසන් විය.

ඊයේ සිය තෙවැනි එක්දින ශතක වාර්තා කළ නිශ්ශංක පන්දු 113කදී හතරේ පහර 14ක් සමඟ ලකුණු 104ක් රැස් කළ අතර, දිමුත් පන්දු 92කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 83ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 17ක් රැස් කරමින් කණ්ඩායමේ ජය තහවුරු කළහ.

කොදෙව් ඉනිමේ මුල් කඩුලු 8 ලකුණු 155ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි කීසි කාර්ටි සිය හොඳම ජාත්‍යන්තර එක්දින ඉනිම ක්‍රීඩා කරමින් කණ්ඩායම ලකුණු 243 දක්වා ඉදිරියට රැගෙන ගියේය.

9 වැනි කඩුල්ලට කෙවින් සින්ක්ලෙයාර් (25) සමඟින් ලකුණු 63ක් සහ අවසන් කඩුල්ල අකීල් හොසේන් (6) සමඟ ලකුණු 25ක සබඳතා ගොඩනැඟීමට කාර්ටි සමත් විය. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 96කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 87ක් රැස් කර තිබිණි.

මුළු ලකුණු 42ක් වෙද්දී ආරම්භ පිතිකරු යුගලය පිටියෙන් ඉවත් කිරීමට මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ සමත් වූ අතර, බ්‍රෙන්ඩන් කිං ලකුණු 10කට සහ ජොන්සන් චාල්ස් ලකුණු 39කට දැවී ගියහ.

යළි ක්‍රියාත්මක වූ තීක්ෂණ මුළු ලකුණු 55 දී නායක ෂායි හෝප් (2) දවාගත් අතර තවත් ලකුණු 7ක් තුළ ෂමර් බෲක්ස් (2) ද දැවී ගිය පිතිකරුවන් අතරට එක් කළේය. දුෂාන් හේමන්තට මංගල එක්දින කඩුල්ල ලබා දෙමින් නිකොලස් පූරාන් (14) පස්වැනි කඩුල්ල දැවී ගිය අතර, කයිල් මේයර්ස් (18) සහන් ආරච්චිගේ මංගල කඩුල්ල ලෙස දැවී ගියේය.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දවාගත් අතර, දුෂාන් හේමන්ත කඩුලු 2ක් බිඳ දැම්මේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනස්කම් දෙකක් සිදු කරමින් දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කැඳවා තිබුණේ ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග වෙනුවටය. සහන් ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගත්තේය.

මේ අතර තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර හෙට (9) මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේහිදීම ආරම්භ වෙයි.

මේ තරගාවලියේදී දෙපිල හමුවන තෙවැනි අවස්ථාව මෙයයි. තරගාවලිය ආරම්භයට පෙර පුහුණු තරගයට එක් වූ මේ කණ්ඩායම් දෙක සුපිරි 6 වටයේදීත් හමු විය. එම තරග දෙකම ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT