මාලිගාවත්ත යූත් හා කොළඹ පාපන්දු සමාජය අතර තරගයේ අවස්ථාවක්.
සිටිලීග් සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ සෝන්ඩර්ස් හා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ අතර තරගය අද කොළඹ සිටිලීග් පිටියේදී පැවැත්වෙන අතර, ජාවාලේන් හා මාලිගාවත්ත යූත් ක්‍රීඩා සමාජ අතර තරගය හෙට (9) පස්වරු 3.30ට ආරම්භ වේ. මෙතෙක් පැවැති තරග අතුරින් ඉදිරියෙන්ම සිටින කොළඹ පාපන්දු සමාජයට මේ සතියේ තරග නැත. මෙතෙක් කොළඹ පාපන්දු සමාජය තරග තුනකට මුහුණදී තරගයක් ජයගෙන තරග දෙකක් ජය පරාජයෙන් තොරව නිමා කළේය. කොළඹ පාපන්දු සමාජය ගෝල 3-1ක් ලෙස මාලිගාවත්ත යූත් පිල පරාජය කළ අතර, ගෝල් 1-1ක් ලෙස මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සමඟ තරගය ජය පරාජයෙන් තොර විය. එමෙන්ම සෝන්ඩර්ස් සමඟ තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවීම හේතුවෙන් කොළඹ පිල ලකුණු සටහනේ ලකුණු 5ක් ගෙන ඇත.
මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය තරග තුනකදී තරගයක් ජයගෙන තරගයක් පරාජයවී අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමා කළ හෙයින් ලකුණු 4ක් ලබා දෙවැනි ස්ථානයේ පසුවේ. මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ගෝල් 2-0ක් ලෙස මාලිගාවත්ත යූත් පිල පරාජය කළ අතර, ජාවාලේන් හමුවේ ගෝල් 4-2කින් පරාජය විය.
ජාවාලේන් සහභාගීවූ තරග දෙකේදී ජයග්‍රහණයක් හා අනෙක් තරගය ජය පරාජයෙන් තොරව නිමාකොට ලකුණු 4ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී. ජාවාලේන් වෙතින් මොරගස්මුල්ල පරාජය වූ අතර, ජාවාලේන් – සොන්ඩර්ස් තරගය ගෝල් 2 – 2ක් ලෙස සම තත්ත්වයෙන් නිමාවිය.
සෝන්ඩර්ස් සහභාගීවූ තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමාවී ලකුණු 2ක් ලබා සිටින අතර, මාලිගාවත්ත යූත් සහභාගීවූ තරග දෙකම පරාජයවී ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙති.
ප්‍රින්ස් ගුණසේකර