සංචාරක නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය අද කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පෙරවරු 10.00ට ආරම්භ වෙයි.
මේ දෙපිල විස්සයි20 පිටියේදී දහවරක් හමුව ඇති අතර, ඒ සියලු තරග ජයගෙන ඇත්තේ නවසීලන්තයයි. අවසන් වරට පසුගිය පෙබරවාරියේ දෙපිල හමුවූ අතර, එම තරගයෙන් නවසීලන්තයට ලකුණු 102ක දැවැන්ත ජයක් හිමි විය.
නවසීලන්ත මින් පෙර 2012 වසරේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ අතර, සත්කාරක ශ්‍රී ලංකාව සමඟ ගාල්ලේදී එක් තරගයක් ක්‍රීඩා කර ඇත.
නවසීලන්ත පිල මේ සංචරයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉතිහාසයේ පළමු තරගාවලි පරාජය ලැබූ බැවින් අද ඇරඹෙන විස්සයි20 තරගාවලියට නව සැලසුම් සමඟින් පිවිසෙනු ඇත.
මේ අතර විස්සයි20 තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය පසුගියදා නම් කළ අතර, නවසීලන්තයට එරෙහිව ඉතිහාසගත ජයක් හිමිකරගත් චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමම වෙනසකින් තොරව මේ තරගාවලියටත් නම් කර තිබේ. එබැවින් අද තරගයට ඉහළ මානසිකත්වයකින් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන අතර, මේ තරගාවලියත් ජය ගනිමින් ඉතිහාසය අලුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ බලාපොරොත්තුව වී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා විස්සයි20 සංචිතය – චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, කවිෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, ඕෂදී රණසිංහ, කාව්‍යා කාවින්දි, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, හංසිමා කරුණාරත්න, ඉනෝෂි ප්‍රනාන්දු, ඉමේෂා දුලානි, හසිනි පෙරේරා.
නිරෝෂාන් ප්‍රියංකර