Saturday, May 10, 2025
Home » ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී නෙදර්ලන්තය පරදවයි

ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී නෙදර්ලන්තය පරදවයි

by chanaka
July 9, 2023 8:59 pm 0 comment

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද(09) සමත් විය. ඒ, හරාරේ හිදී නෙදර්ලන්තයට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 128කින් ජයගනිමින්ය.
තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නේය.
දිමුත් කරුණාරත්න ආබාධයක් හේතුවෙන් අද ක්‍රීඩා නොකළ අතර ඒ අනුව ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ සධීර සමරවික්‍රම යි. ආරම්භ කඩුල්ලේ සබඳතාව ලකුණු 39ක් වන විට සධීර ලකුණු 19කට දැවී ගියේය. පැතුම් නිස්සංක ලකුණු 23යි.
අනතුරුව කුසල් මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ තුන්වැනි කඩුල්ලට ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 43යි. සහන් ආරච්චිගේ තම එක්දින ක්‍රිකට් දිවියේ පළමු අර්ධ ශතකය වාර්තා කරමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි.
චරිත් අසලංක  ලකුණු 36යි.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි, පන්දු 05ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 233කි.
තරගය ජයගැනීම සඳහා ලකුණු 234ක ඉලක්කයක් සමග නෙදර්ලන්ත ඉනිම ආරම්භ කළේ, වික්‍රම්ජිත් සිං සහ මැක්ස් ඕඩොවුඩ් ය.
ආරම්භක පිතිකරු සබඳතාව ලකුණු 25ක් වන විට සිං ලකුණු 13කට දැවී ගියේය. නෙදර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් අතරින් ලකුණු 10 සීමාව පසුකළේ, ක්‍රීඩකයින් තිදෙනෙකු පමණි . මැක්ස් ඕඩොවුඩ් ලකුණු 33ක් රැස් කළ අතර, ‍ලෝගන් වෑන්බීක් ලකුණු 20යි. නෙදර්ලන්තය පන්දුවාර 23යි, පන්දු 03ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ, ලකුණු 105ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 04ක් ලබා ගත්තේය. ඩිල්ෂාන් මධුශංක ලකුණු 18කට කඩුලු 03ක් සහ වනිදු හසරංග ලකුණු 35කට කඩුලු 02ක් දවාගත්තේය.
තරගයේ වීරයා ඩිල්ෂාන් මධුශංක.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් මස 07 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාව තම පළමු තරගයට මුහුණ දෙන්නේ, ඔක්තෝබර් 07 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT