වීඩියෝව තලු මරා ‘පන්දුවෙන් පන්දුවට දෙන විස්තර ප්‍රචාරය මෙන්’ ලිවීම අවශ්‍ය නැත. මේ දවස් දෙක තුන තුළ, සමාජ මාධ්‍යයේ සැරිසරන සියලු දෙනා එය දුටහ. කලක් තිස්සේ, මේ ජාතියේ වීඩියෝ එළි බසින ලද ආකාරය ද සොයා ගත යුත්තකි. සංඝ චර්යාව සම්බන්ධයෙන් සුගත්හු වදාළ විනය සඳහා, විනිසුරුකම් කිරීමට ගිහියාට කිසිදු ඉඩක් ලබා දී නැත. එතැනදී ගිහියා වෙත කළ හැක්කේ නොසලකා හැරීම පමණය. ඇරියස් කවර් කර ගැනීම සඳහා ගුණේ අයියාගේ කාමරයේදී මෙන් ‘සොමියට වරෙන් පුතා …’ කියා හොරා පොලිස් කළ හැකි අවස්ථා පාරේ යන එකාලාට නැත.
මේ ප්‍රශ්නය ශාසනික සහ සමාජීය යන දෙකෙන්ම බලා කතා කළ හැකිය. වීඩියෝ සඳහා මේ සිද්ධිය ලක් කරන්නෙම ‘දෙන්නම් වැඩේ’ යන්න මුල් කරගෙනය. ඒ සඳහා කඩා පනින හමුදාවක් සේ, තව නිවසකට යෑම සඳහා මේ අය වෙත වරම් ලබා දුන්නේ කවරහුද…?” ඔහොම තැනකට පොලිසිය යන්නේ ද සෝදිසි වරෙන්තුවක් අරගෙනය. පොලිස්පති තනතුර මේ දිනවල හිස්ව තිබෙන හෙයින්, නවගමුව පළාතේ සිටින මේ අට දෙනා කාටත් හොරා එහි වැඩ බැලුව ද මේ වැටලීම සඳහා යා නොහැකිය. ඒ අට දෙනාගෙන් එක් අයෙකුගේ, බිරිය හෝ වෙනත් ඥාති ස්ත්‍රියක් එහි සිටියා නම් එතැනදී යම් සහනයක්, මේ ප්‍රහාරය සඳහා දිය හැකිය. එසේ නැතිව ‘හෙට දවසේ වීරයෝ පුංචි අපි තමයි’ සිතා, මේ ගේමට කට්ටිය සෙට් වුණා නම් වැඩේ සපුරා අවුල්ය. ඔත්තු බලා වැටලීම් සිදු කරමින්, මේ මහන්සි ගන්නේ අවනීතික ක්‍රියාවකට වග නොදන්නා උන්, අනුන්ගේ වැරදි සෙවීම සඳහා දැන් දඬුවම් ලබා තිබේ. ඒ අට දෙනා දැන් සිටින්නේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවය. සිවුර අත්හැර සමාජීය වශයෙන් පමණක් සලකා බැලුවහොත්, එය උන්ගේ කැමැත්තය. ඒ කාමරයට කඩා පැන අර විදිහේ ත්‍රාඩ ගේමක් ප්ලේ කිරීම එක් අතකින් ‘කන එකා කෙරෙහි, නැති එකා ඇති වෛරයය’වේ. රෙදි අඳින්නට වෙර දරද්දී ඒ වනිතාවෝ දෙදෙනා සහ හිමියෝ දිගින් දිගටම නිරුවත් කිරීමට වෙර දැරීම සහ ඒ නිරුවත් වීඩියෝ කිරීමේ අසහනය ‘තුන් නිදි වැදීමට’ වඩා භයානකය. අර ලෙඩේට දෙන බෙහෙත මෙන් හය හත් ගුණයක මාත්‍රාවක් ‘මේ රෝගයට’ හිමිය. ඒ නිසා කිසිදු ආකාරයකින් සමාජීය ලෙස, ඒ අසහනාකාරයෝ නිදහස් නොවෙති.
සිවුර මුලට ගෙන ශාසනික ලෙස මේ දෙස බලන්නේ නම් ඒ සඳහා උපදේශයක් මිලින්ද ප්‍රශ්නයේ, එන ‘ශ්‍රමණ දුශ්ශීල ප්‍රශ්නය’ විග්‍රහ කරයි. මිලිදු මහ රජු විසින් නාගසේන මහ රහතන් වහන්සේ වෙතින් මේ ගැන විමසන ලදී. ගිහි දුශ්ශීලයා හා ශ්‍රමණ දුශ්ශීලයා අතර යම් වෙනසක් ඇත්ද, නැතහොත් දෙදෙනාම සමාන ද යන්න පිළිබඳව කරන ලද විමසීමකදී නාගසේන මහ රහතන් වහන්සේ එය මෙසේ විසඳා දුන්හ.
මහරජ, ශ්‍රමණ දුශ්ශීලයාට ගෘහස්ථ දුශ්ශීලයාට වඩා විශේෂයෙන් ඉතිරිවූ ගුණ දහයක් ඇත. ඊට අමතරව වූ තවත් ගුණ දහයක් ඇත. මේ නිසා අලජ්ජී වූ දුශ්ශීල මහණුන් හට දන් දුන්නද එය මහත්ඵල මහානිශංස වේ.
බුදු රජාණන්වහන්සේ කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි. ධර්මය කෙරේ ගෞරව ඇතිවන්නේ වෙයි. සබ්‍රහ්මචාරී සංඝයා කෙරේ ගෞරව ඇත්තේ වෙයි. ඇවැත් උදෙසා සිල්වත් වීමට වීර්යය කරන්නේ වෙයි. බොහෝ ඇසීම් ඇතිවෙයි. දුශ්ශීල වූ භික්ෂුව පිරිසක් මැදට ගියද භික්ෂුවක්ය යන හැඟීම නිසා මනා සිහිය උපදවයි. අවමානයට ලක් වේය යන බයින් කය සංවර කරයි. අවමානයට ලක් වේය යන බයින් වචනය සංවර කරයි. ඒ පුද්ගලයාගේ සිත භාවනාභිමුඛ වෙයි. හේ භික්ෂූන් හා ඇසුර ඇත්තේ වෙයි. මෙම භික්ෂුව පව් කළ ද එළිපිට පව් නොකරයි. හර්හා භයින් යුක්ත වෙයි.
ස්වාමිනී, නාගසේනයන් වහන්ස, අමතර දක්ෂිණාව මහත්ඵල කරන්නාවූ ගුණ දසය කවරක්ද? යැයි ඉන්පසු රජතුමා නාගසේන මහ රහතන් වහන්සේගෙන් විමසන කල්හි, උන් වහන්සේ දේශනා කරනු ලබන්නේ, ශ්‍රමණ දුශ්ශීලයා සියලු බුදුවරයාණන් වහන්සේලා පැලඳි චීවර වස්ත්‍රය දැරීමෙන්ද දක්ෂිණාව හෙවත් දානය පිරිසිදු කරන්නේය. සෘෂි ශ්‍රමණ භාව ඇත්තාවූ මුඩු වේශය දැරීමෙන්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. සංඝ සමූහයාට ඇතුළත් වූ බැවින්ද පරලොව අදහා දෙන්නාවූ දානය පිරිසිදු කරන්නේය. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධරත්නය සරණ ගිය බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. වීර්යය වැඩීමට සුදුසු වූ ජන ශුන්‍ය ආරාම දස්වනය කරනා බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. සර්වඥ ශාසන නමැති ශ්‍රේෂ්ඨ වූ ධනය සොයනා බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. සද්ධර්මය දේශනා කරන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. ධර්මානුරූපීව හැසිරෙන බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. බුදුරජාණන් වහන්සේ තුන් ලොවට අග්‍ර යැයි දෙසනා බැවින්ද දක්ෂිණාව පිරිසිදු කරන්නේය. නව උපෝසථය නොවරදවා සමාදන්ව ප්‍රාතිමෝක්ෂ ඇසීමෙන්ද දක්ෂිණාව පිරිසිදු වන්නේය.
උණු දිය ගින්නට දැමූ කල්හි ද ගින්න නිවී යන්නා සේ, විපරීත ශ්‍රමණ දුශ්ශීලයා දායක දානය මහත්ඵල කරනු ලබන බැවින්, පූර්ව අපර,මධ්‍ය චේතනාවන් පිරිසිදු වූ සුප්‍රසන්න සිත් ඇත්තාවූ, සිල්වත් පුද්ගලයෙක් කුසල කර්ම ඵලය අදහමින්, ශ්‍රමණ දුශ්ශීලයෙක් වෙත දානයක් දුනහොත්, එය දායකයා නිසා මහත් ඵල මහානිශංස වන්නේය. යැයි නාගසේන මහ රහත්හු වැඩිදුරටත් වදාළ සේක.
මේ සියලු ආකාරය බලන විට, අර අට දෙනා ගලවාගෙන ඇත්තේ තම වස්ත්‍රයන්ය. වැඩේ කියන්නේ අනුන්ගේ රෙදි ගැලවූ එකාලා අධිකරණයට යන්නේ මුහුණ රෙද්දකින් වසාගෙන වීමය. සංඝ හැසිරීම සම්බන්ධ වූ විභාගය, එම සංස්ථාවේ බලයලත් හිමිවරු බලා ගත යුත්තෝමය. මේ වග්ගයේ, නාටක ගණනාවක් පසුගිය කාලයේ අප දුටු බැවින්, කෙතරම් දහම් කතා කීවද, පුහුදුන් සිත් හි සිල්වත් භික්ෂුව පිළිබඳ කුකුස් ඉපදිය හැක. එය දුරලා මේ තැනට, චීවරය පත් නොකිරීමට මහා නායක හිමිවරු වග බලා ගත යුත්තෝය.