Home » මධුර හඬින් සිත් සනහන මාපලගම බුද්ධසිරි නාහිමියෝ

මධුර හඬින් සිත් සනහන මාපලගම බුද්ධසිරි නාහිමියෝ

by admin
July 10, 2023 1:00 am 0 comment

මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකික සංඝ ශාසනය දිදුල වූ මහසඟරුවන නියෝජනය වන්නේ ගාලු දිස්ත්‍රික්කයෙන්ය කියා කීවොත් එය මුසාවක් යැයි කාටවත් කිව හැකිය කියා මම විශ්වාස නොකරමි. හික්කඩුවේ ශ්‍රී සුමංගල, කහවේ රතනසාර, බද්දේගම පියරතන, වැලිවිටියේ සෝරත, අකුරැටියේ අමරවංශ , බද්දේගම විමලවංශ , ගෝනාපීනූවල පුඤ්ඤසාර , මාපලගම විපුලසාර නාහිමිවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළු විවිධ පැතිකඩවලින් මේ ශාසනයට මහ මෙහෙවරක් කළ ගාලු මහ දිසාවේ ජන්මලාභය ලැබූ යුගපුරුෂ කාරක උත්තමයන් වහන්සේලායි.

මාපලගම බුද්ධසිරි නාහිමිපාණන් වහන්සේ විශේෂ වූ සහජ හැකියාවකින් සසුන බබළවන, එම හැකියාවෙන් ශාසනික මෙහෙවරක් කරන ගාලු මහදිසාවෙන් සසුනට ජනිත කළ තවත් එක් ශාසනික විලේ පුබුදු වූ පියුමකි. උන් වහන්සේ ජන්ම ලාභය ලැබූයේ 1960 ජූලි මස 08 වැනි දිනයි. පියා එඩ්වඩ් කාරියවසම් මහතා සහ මෑණියන් පියවතී ලියනගේ මහත්මිය දෙපළ තුණුරුවන් පිළිබඳ අපමණ සැදැහැයෙන් යුතුව කටයුතු කරන දෙපළකි. මොනවා නොකළත් උදේ සවස බුදුන් වැඳීම නම් නොකරාම බැරිය. කවර පිනක් කර ගත්තත් දරුවකු සසුනට පූජා කිරීම තරම් තවත් පිනක් නැතැයි කල්පනා කළ මේ මවුපිය දෙපළ ජයරත්න නම් අට හැවිරිදි පුතු සසුන්ගත කිරීමට කතිකා කර ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස ජයරත්න කුලකුමරුවා 1971 දෙසැම්බර් මස 22 වැනි දින මාතර වෙහෙරහේන ශ්‍රී පූර්වාරාම රාජමහා විහාරාධිපති කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ දක්ෂිණ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය සද්ධර්ම කීර්ති ශ්‍රී දවුලගල ශ්‍රී සංඝරතන නායක හිමියන්,දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති සහ වෙහෙරහේන රාජමහා විහාරාධිවාසී මාතර ආනන්ද හිමිවරුන් තෙනමගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් විය.

තම විහාරස්ථානයේ පවත්නා ශ්‍රී රේවත පිරිවෙනෙන් සාමණේර නමකට අවශ්‍ය වන මූලික බණ දහම් සහිතව ඇවැතුම් පැවැතුම් පිළිබඳ ශික්ෂණයක් ලද උන්වහන්සේ මාතර ශ්‍රී සුදස්සි පිරිවෙනට ඇතුළත්ව සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත්‍ර සහිත ධර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලදහ. පිරිවෙන් අවසාන විභාගය, උසස් පෙළ විභාගය ආදියෙන් උසස් ලෙස සමත් වූ බුද්ධසිරි හිමියෝ 1980 ජුනි මස 14 වැනි දින කෝට්ටේ රාජමහා විහාරස්ථ මංගල උපෝසථාගාරයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පත්තියේ පිහිටියහ.

වෙහෙරහේන රජමහා විහාරස්ථානය නිරන්තරයෙන්ම වන්දනාකරුවන් යන එන පූජනීය ස්ථානයකි. රජමහා විහාරයේ නිර්මාතෘවරයාණන් වහන්සේ බෝධීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටි හිස් ඉඩමේ කටුමැටි ගෙයක් තනවාගෙන 20 වැනි සියවසේ ලෝකයේ ලොකුම බුදු පිළිම වහන්සේ සහිත විශාලතම උමං විහාරය කරවූහ. ආදර්ශ සම්පන්න ජාතක කතා චිත්‍රයට නඟමින් උමං විහාරය අලංකාර කර ඇත. කෙනෙකුට මෙහි මඟපෙන්වන්නකුගේ සහාය නැතිව පිළිවෙළකට සියල්ල නැරඹිය නොහැකිය. ඈත දුරබැහැර සිට පැමිණෙන සමහර අය බුදු පිළිම වහන්සේ පමණක් වන්දනාමාන කර ආපසු යති. මුදල් වියදම් කරගෙන පැමිණ හරිහැටි විහාරය නොබලා ආපසු යන අය ගැන අනුකම්පාවෙන් බුද්ධසිරි හිමි තීරණයක් ගති. තම ගුරුදේවයන් වහන්සේට ද සහාය වෙමින් විහාරස්ථානයේ ආගමික කටයුතු ඉටු කරමින් පැමිණෙන වන්දනාකරුවන්ට සහාය වෙමින් නාහිමිපාණන් වහන්සේ කරගෙන යන ආගමික කටයුතු සහ සමාජ සේවා කටයුතුවලට ශක්තියක් වෙමින් කටයුතු කිරීම තම ගුරුදේව නාහිමිපාණන් වහන්සේට ගෞරවයක් මෙන්ම වගකීමක් ද වෙයි. එබැවින් පිරිවෙන් අධ්‍යාපනයට ආයුබෝවන් කියා විහාරස්ථානයේ කටයුතුවලට සම්බන්ධ වූහ.

ස්වකීය ගුරුදේවෝත්තම දවුලගල සංඝරතන නායක හිමියන් වෙනුවෙන් විහාරස්ථානයෙන් ඉටුවිය යුතු යුතුකම් ද ඉටු කරමින් කටයුතු කිරීම නාහිමිපාණන් වහන්සේට විශාල සහනයක් විය. එබැවින් සමහර අවස්ථාවල දින ගණන් විහාරස්ථානයෙන් බැහැරව විවේකීව වැඩ සිටීමට නාහිමිපාණන් වහන්සේට ඉඩකඩ ලැබුණි. බුද්ධසිරි හාමුදුරුවන් තරුණ වයසේ වුව පරෝපවාදයන්ගෙන් තොරව ස්වකීය දායක කාරකාදීන්ගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කරනු ලැබූයේ ඒ අය බලාපොරොත්තු වූවාටත් වඩා උසස් ලෙසය. ප්‍රදේශයේ මහා සංඝරත්නයේ ද ප්‍රසාදයට පත් උන්වහන්සේට විහාරස්ථානයේ ආගමික කටයුතු සඳහා මහා සංඝරත්නයේ අඩුවක් කිසිදා නොවූයේය. වසර 15ක පමණ කාලයක් කැපවීමෙන් මේ සේවාව කළ අතර, සහජයෙන් පිහිටි කුසලතා දියුණු කර ගැනීම ද සිදු කළහ.

උන්වහන්සේගේ කටහඬ ගැඹුරුය. මිහිරිය. කන්කලුය. රැලි දිදී නැළවී නැළවී විනිවිද යයි. එය ආයාසයකින් ඇතිකර ගත්තක් නොවේ. සහජයෙන්ම ඇතිව නිරායාසයෙන් ම සිදුවන්නකි. එවක වැඩ සිටි ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් විචිත්‍ර භාණකයන් වහන්සේලාගේ සජ්ඣායනයන් ශ්‍රවණය කිරීමෙන් සජ්ඣායන මාත්‍රඥතාව අවබෝධ කරගෙන නුවණ දියුණු කර ගත්හ. ඉතා කෙටි කලකින් සමාජය පිළිගත් භාණකයන් වහන්සේලා සමඟ හරි හරියට උච්චාරණ කුසලතාව සමඟ සජ්ඣායනය කිරීමට අවස්ථාව උදා කර ගත්හ. පන්සිල් දීම, දේවතාරාධනය, පිරිත් පේ කිරීම, පිරිත් පිරීම, යුග දේශනා, සූත්‍ර දේශනා, හමාර දේශනා, අනුශාසනා දේශනා, මෛත්‍රී වර්ණනා දේශනා, යුගාසන ධර්ම දේශනා, පිංවාක්‍ය දේශනා ආදිය කරනු ලබනුයේ බුද්ධසිරි හාමුදුරුවො නම් ශ්‍රවණය කරන සියලු දෙනා සමාධියකට සමවැදුනාක් මෙන් නිහඬය. පුළුන් රොදක් බිම වැටෙන ඉතා සියුම් කම්පනය වුවද දැනෙන තරම් නිසංසලය. එය උන්වහන්සේගේම දේශනා චාතූර්යයයි.

1995 වෙසක් මහේ 09 වැනි දින රත්මලාන කොතලාවලපුර සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වශයෙන් උන්වහන්සේගේ ජීවිතයේ නව නැම්මක් ඇතිකර ගත්හ. ඉතා කෙටි කලකින් තම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ගැනීමට උන්වහන්සේ දක්ෂ වූහ. දෙමහල් සංඝාවාසය, විහාර මන්දිරය, බෝධීන් වහන්සේ සමීපයේ ධර්ම ශාලාව සහිත දෙමහල් මන්දිරය, පහළ මහලේ දහම් පාසල් පන්ති කාමර සහිත ඉහළ මහලේ චෛත්‍යරාජයාණන් වහන්සේ ආදි කොට ඇති ගොඩනැඟිලි රාශියක් දෙස් විදෙස් හිතවතුන් ඇතුළු කුළුපග දායකකාරකාදීන්ගේ අනුග්‍රහය ඇතිව ඉදිකරවීමට සමත් වූහ. කොළඹට වැඩම කළ බුද්ධසිරි හාමුදුරුවන්ගේ සහභාගිත්වය නැතිව විහාරස්ථානයක පිරිත් පින්කමක් නොපැවැත්වෙන තරම්ය. හොඳට පිරිත් දේශනයක් පවත්වා ගැනීමට නම් බුද්ධසිරි හාමුදුරුවන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍යමයයැයි විහාරාධිපති නාහිමිවරු විශ්වාස කළහ. එබැවින් උන්වහන්සේට කොළඹ පැමිණීමෙන් විවේකයක් නම් නොලැබුණි. රජ මැඳුරේ සිට පැල්පත දක්වා ඇති නැති පරතරයක් නොමැතිව ළෙන්ගතුව උන්වහන්සේගේ සේවය දුන් බව සඳහන් කළ යුතුය.

උන්වහන්සේගේ සේවය ඇගයීමට අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ කොළඹ සංඝ සභාව ‘ත්‍රිපිටක ධර්මකීර්ති ශ්‍රී සරභඤ්ඥ විශාරද’ යන ගෞරව උපාධිය පිරිනමමින් උන්වහන්සේගේ දේශනා චාතූර්යය අගයමින් උපහාරයට බඳුන් කළහ.

බුද්ධසිරි හාමුදුරුවන්ගේ දේශනා විලාශයට ඇලුම් කළෝ ලාංකිකයෝ පමණක් නොවෙති. ඉංග්‍රීසි ජාතික, කාම්බෝජ ජාතික, වියට්නාම් ජාතික, චීන ජාතික බෞද්ධයෝ පමණක් නොව අන් ආගමිකයෝ ද උන්වහන්සේගේ සජ්ඣායන ශ්‍රවණයට ප්‍රිය කළහ. එබැවින් හැම වසරකම වාගේ අමෙරිකාවෙන් ද, එංගලන්තයෙන්, ප්‍රංශයෙන්, ඉතාලියෙන්, සිංගප්පූරුවෙන්, මැලේසියාවෙන් එම රටවලට වැඩමවීමට ආරාධනා ලැබෙයි. එම රටවල උන්වහන්සේ හඳුන්වනුයේ ‘පිරිත් රජ්ජුරුවෝ’ යන අන්වර්ථ නාමයෙනි.

තෙසැට වයස් සපිරි මහ තෙර නමක් වශයෙන් මේ මස 08 වැනි දින උපන් දිනය සමරන ත්‍රිපිටක සද්ධර්ම කීර්ති ශ්‍රී සරභඤ්ඥ විශාරද ගාලු කෝරලයේ හිනිඳුම් පත්තුවේ ප්‍රධාන සංඝ නායක මාපලගම බුද්ධසිරි නායක හිමියන්ට නිදුක් නීරෝගි සුව සහ දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනය කෙරෙමින් එදින සවස සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන ගිලන්පස පූජා පින්කමකි. නායක හාමුදුරුවන් වහන්සේට නීරෝගි සුව පතමු.

ඉත්තදෙමලියේ ඉන්දසර නායක හිමි

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු

උපකුලපති සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT