Home » පනාවල ලැඟුම්හලකදී තරුණියක් අබිරහස් ලෙස ගෙල වැලලාගෙන මිය යෑම නිරෝෂන් ආදරය කළේ මට නෙමේ සල්ලි-රත්තරන්-දේපළවලට

පනාවල ලැඟුම්හලකදී තරුණියක් අබිරහස් ලෙස ගෙල වැලලාගෙන මිය යෑම නිරෝෂන් ආදරය කළේ මට නෙමේ සල්ලි-රත්තරන්-දේපළවලට

ප්‍රදීපා මිය යෑමට පෙර ලියූ ලිපියෙහි සටහනක්

by admin
July 10, 2023 1:00 am 0 comment

19දා මරණය ගැන අධිකරණයට කරුණු වාර්තාවක්

රක්වාන, මාදම්පේ, පනාවල ලැඟුම්හලක කාමරයක් තුළ පසුගිය 04 වැනිදා ගෙල වැලලාගෙන අබිරහස් ලෙස මිය ගොස් සිටි විසි දෙහැවිරිදි තරුණිය විසින් ලියූ බව පැවසෙන ලිපියක් ඇය පදිංචි නිවෙසේ කාමරයක තිබී හමුවී ඇත. ඇය විසින් පිටු නවයකින් යුතු මේ ලිපිය ලියා ඇත්තේ පසුගිය මස 16 වැනිදාය.

මෙලෙස සල්වාරි පටියකින් ගෙල වැලලාගෙන මිය ගියේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නමැති තරුණියක් වන අතර, ඇයගේ අවසන් කටයුතු පසුගියදා (06) පුංචිබාරවත්තේ දී සිදු කෙරිණි.

දමිළ ⁣තේරුම සහිතව ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබු මේ ලිපියේ ඇය සඳහන් කර ඇත්තේ මීට ප්‍රථම ලස්සන ආදර සබඳතාවක් පැවති නමුත් එය අහිමිව ගිය බවයි. ඉන් අනතුරුව දැන් සිටින පෙම්වතා වන නිරෝෂන් හමු වු බවත්, පළමු පෙම්වතා දැක්වු ආදරය නිරෝෂන්ගෙන් ලැබේ යැයි සිතා ඔහුට ආදරය කළ බවයි. එහෙත් නිරෝෂන් තමාට ආදරය නොකර ඇය සතු මුදල්, රත්තරන් සහ දේපළ විවිධ අවස්ථාවලදී තර්ජනය කර බිය ගන්වා ගත් බවයි. එලෙස මුදල් නොදෙන අවස්ථාවලදී තමාට නිරෝෂන් දරුණු ලෙස පහර දෙන බව ද ඇය ලියූ ලිපියේ සඳහන් කර ඇත.

“නිරෝෂන් මට ආදරේ නෑ. එයා මගෙන් නිතර නිතර සල්ලි ඉල්ලා ගන්නවා. එයාට දෙන්න සල්ලි මා ළඟ නැති වෙලාවට මගේ රත්තරන් බඩු උගසට තියලා හරි එහෙම නැත්නම් වෙනත් ක්‍රමයකින් හරි සල්ලි හම්බ කරලා නිරෝෂන්ට දෙනවා. සල්ලි දෙන්න බැරි වුණාම නරක වචනයෙන් නිතර නිතර බණිනවා. සල්ලි දුන්න දවස්වලට විතරක් එයා සතුටින් ඉන්නවා. එයා කැමති දේ විතරයි මම කරන්න ඕනෙ. මගේ පාසලේ ගුරුවරුන්, මවුපියන් සහ සහෝදර සහෝදරියන් කවුරුවත් නිරෝෂන් තරම් මට ගහලා නෑ. එයා මාව ගැට ගහලා පවා ගහනවා. කවදා හරි දවසක නිරෝෂන් කසාද බඳින්න වුණොත් එදාට මම ඔහුගෙන් දික්කසාද වේවි. එහෙම නැත්නම් සිය දිවි නසා ගන්නවා.” මේ ක්‍රිෂ්ණන් ලියූ ලිපියෙහි කොටසකි.

මිය ගිය ප්‍රදීපාගේ පියා වන රාමයියා ක්‍රිෂ්ණන් තම දියණියගේ මරණය ගැන පැවැසුවේ මෙවැන්නකි.

“මගේ බාල දුවගේ මරණයට එයා හෝටලයකට එක්කර ගෙන ගිය තරුණයා වගකිව යුතුයි. ඔහු නිසා තමයි මගේ දුවට මෙහෙම දෙයක් වුණේ. දුව බෙල්ලේ දාගෙන හිටිය මාලය රුපියල් ලක්ෂයකට උගස් තියලා මේ තරුණයාට දීලා තියෙනවා. මාලේ උගස් කරපු කුවිතාන්සියත් හම්බ වුණා. දුව ගෙදර ඉන්න වෙලාවට හරි දුකෙන් තමයි හිටියේ. ඒ වෙලාවට ඒ ගැන සොයලා බලන්න කියලා මම බිරිඳ එක්ක පවා රණ්ඩු වෙනවා. දුව ලියලා තිබුණ ලිපිය පොලිසියට භාර දුන්නා. මගේ දුව ළඟ තිබුණ සල්ලි, රත්තරන් බඩු ඔක්කොම මේ තරුණයා දුව බය කරලා ගහලා බැණලා අරගෙන තියෙනවා. ඒ මොනවත් අපි දැනගෙන හිටියේ නෑ. ඒ තරුණයා මගේ දුවගේ මරණයට වගකිව යුතු නිසා ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.”

මේ සම්බන්ධයෙන් මිය ගිය ප්‍රදීපාගේ මව වන බාලයියා නාගේෂ්වරි ද මෙලෙස අදහස් දැක්වූවාය.

“දුවගේ මේ සම්බන්ධය අපි දැනගෙන හිටියේ නෑ. මගේ දුවට ඒ තරුණයාගෙන් ගොඩක් කරදර වෙලා තියෙනවා. දුව ළඟ තිබුණ සියල්ල ඔහු බලහත්කාරයෙන් අරගෙන තියෙනවා. මගේ දුවට මේ අපරාධය වුණේ ඒ තරුණයා හින්දා. මේ මරණය ගැන අපට සාධාරණයක් වුණේ නෑ.”

මේ සම්බන්ධයෙන් රක්වාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක පී. වී. වික්‍රමපාල මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු පැවසුයේ මිය ගිය තරුණිය ලියූ බව පැවසෙන ලිපියක් ඇයගේ පියා පොලිසියට භාර දුන් බවත්, එම ලිපියේ ඇයගේ සිය දිවි නසා ගැනීම පිළිබඳ තොරතුරු බොහෝ දුරට පවතින බවත්, තරුණියගේ මරණය සම්බන්ධයෙන් එළැඹෙන 19 වෙනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බවත්ය.

මිය ගිය තරුණියගේ මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් දී ඇති අතර, තරුණියගේ මෘත දේහයෙන් ගත් ශරීර කොටස් රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ගැනීමට නියමිතව ඇත. ඒ අනුව පොලිසිය විසින් පොලිස් භාරයට ගෙන සිටි මිය ගිය තරුණිය සමඟ එදින ලැඟුම්හලට ගිය විසිතුන් හැවිරිදි ත්‍රීවිල් රථ රියැදුරකු වන පෙම්වතා යැයි පැවසෙන තරුණයා සහ ලැඟුම්හලේ පාලිකාව මුදා හැර තිබිණි. මේ අතර තරුණියගේ මරණයට පෙම්වතා වගකිව යුතු බව පවසා ඇයගේ අවසන් කටයුතු සිදු කළ දින පවුලේ සාමාජිකයන් සහ ජනතාව විසින් විරෝධතාවක් ද පැවැත්වීය.

රක්වාන – ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT