කොකාවිල් සම්ප්‍රේෂණ කුලුන බේරාගැනීම වෙනුවෙන් ජීවිතය පූජා කළ අභීත රණවිරුවන්ගේ 33 වන ගුණානුස්මරණය හෙටට (11) යෙදේ.
වර්ෂ 1982දී ජපන් රජයේ ආධාර මත කොකාවිල්හි මුලින්ම ඉදි කරනු ලැබූ සම්ප්‍රේෂණ කුලුන මඟින් වවුනියාවෙන් ඔබ්බට වූ දිවයිනේ උතුරු ප්‍රදේශයට VHF සංඛ්‍යාත පරාසවලින් යුතු රූපවාහිනී තරංග සම්ප්‍රේෂණයට අවකාශය සැලසිණි. එහි විකාශ පරාසය දකුණු ඉන්දියාව දක්වා විහිදුණු අතර, දකුණු ඉන්දීය ජනයා පවා එමඟින් සිංහල ගී රසවිඳි බව වාර්තා විය. ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල තොරතුරු හුවමාරුවටද මහත් පිටුබලයක් වූ එය ත්‍රස්තවාදීන්ට නම් ගෙන ආවේ හිසරදයකි. එනිසා එය ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වූ අතර, එහි ආරක්ෂාව උදෙසා හමුදා අනුඛණ්ඩයක් යොදවා තිබිණ. එහි අණ දෙන නිලධාරී ලෙස කටයුතු කළ අපේ කතානායකයා සහ අභීතරණවිරුවන් 54 දෙනා ගැන කියවෙන්නේ එතැන් සිටය.
කොටි ත්‍රස්තවාදීන් විසින් 1990 ජූලි මස කොකාවිල් කඳවුර වට කර දැඩි ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. දින කිහිපයක් තිස්සේ ඇවිළ ගිය බිහිසුණු සටනේදී අපේ භටපිරිස කොටු වී සිටියහ. සියලු සැපයුම් මාර්ග අවහිරව උණ්ඩ, ආහාර හා අමතර භට පිරිස් සැපයීම අපහසු වූ බැවින් කඳවුර අත්හැර පසුබසින ලෙස ඉහළින් නියෝග ලැබුණත් අණ දෙන නිලධාරියා කඳවුර හැරදමා පසුබැස නොයන්නේ තුවාල වූ සෙබළ පිරිසක් අත්හැර පණ බේරාගැනීමට පසුබැසීම රණවිරුවකුට තරම් නොවන නිවටකමක් යැයි ප්‍රකාශ කරමිනි. පසුබසින ලෙස දෙවැනි වරටත් ඉහළින් නියෝග ලැබුණත් ඔහු අවසන් උණ්ඩය දක්වා සටන් කිරීමට තීරණය කරයි. අවසානයේ ත්‍රස්තවාදීන් කොකාවිල් කඳවුර වට කළ අතර, එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් කඳවුරේ ඉන්ධන ටැංකියක් පුපුරා යෑමෙන් ජූලි 11 ද බොහෝ පිරිසක් තුවාල ලැබූහ. ආරක්ෂාව තමාට භාර වූ ස්ථානය හැරදා ජීවිතය බේරාගනිමින් පසුබැසීම වෙනුවට ඔහු සතුරන්ටද මරණය හිමි කර දෙමින්, තමාගේ ජීවිතය රට වෙනුවෙන් පුද කිරීමේ අභීත තීරණයකට සිය කැමැත්තෙන්ම එළැඹුණු අපේ කථා නායකයා අවසානයේ කොටි ත්‍රස්තවාදීන් තම කඳවුර තුළට ළඟා වන විට ඔවුන්ද සමඟ තමන්ද විනාශ වන සේ කඳවුර තුළට බෝම්බයක් හෙළන ලෙස ගුවන් හමුදාවෙන් ඉල්ලා සිටියේය. තමා තව මොහොතකින් මියයන බව දැන දැනම බෝම්බ හෙළීම බලාපොරොත්තුව සිටි ඒ අවිනිශ්චිත කාලසීමාව ගැන සැබෑ රණවිරුවකුට මිස වෙනත් පණ ඇති මිනිසකුට අඩුම තරමින් සිතන්නද නොහැකි වනු ඇත. එමෙන්ම මේ සියලු රණවිරුවන් මෙතැනින් ජීවිතය අවසන් කර මියයන බව දැන දැන ඒ ස්ථානයට බෝම්බ හෙළූ ගුවන් නියමුවාද මානසිකව වරක් දෙරවරක් නොව දහස් වරක් හිතන්න ඇත. එය නිවැරදිම වූ රට වෙනුවෙන් වූ තීරණයක් නිසා ඔහුද ඒ තීරණයට අකැමැත්තෙන් වුවද එකඟ වන්න ඇත. අවසානයේ අපේ කතානායකයා වූ ලුතිනන් සාලිය උපුල් අලදෙණිය සිය සතුරන් විනාශ කරගනිමින් තම සගයන් සමඟ1990 ජූලි 11 දින මවුබිම වෙනුවෙන් තම තරුණ ජීවිතය පූජා කළේය. ඒ වන විට ඔහු යන්තම් 27 විය පසු කළා පමණි.
1963 මැයි 1 මහනුවර ප්‍රදේශයේ උපත ලැබූ සාලිය උපුල් අලදෙණිය මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස යුද හමුදාවට එක් විය. කොකාවිල් ක්‍රියාන්විතයේදී ඔහු රට වෙනුවෙන් සිදු කළ අභීත දිවි පිදීමට ගරුකිරීමක් ලෙස කපිතාන් නිලයට උසස් කරන ලද ඔහු නමට 1991.10.10 දා පරම වීරවිභූෂණ සම්මානය පුද කෙරිණි.
පසුව දෙමළ ඊලාම් කොටි ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගන්නා ලද ඒ භූමියේ තාවකාලිකව අටවාගත් කුඩා කුලුනක් මඟින් තම ගුවන්විදුලි නාලිකාව වූ ‘වොයිස් ඔෆ් ටයිගර්ස්’ ප්‍රචාරණයත් ඔවුන්ගේ අනෙකුත් සම්ප්‍රේෂණ සන්නිවේදන කටයුතුත් සිදු කරගන්නා ලදි. මේ වන විට කොටි ත්‍රස්තවාදයට ඉන්දියාවේ තමිල්නාඩුවේ සහාය ඍජුවම ලැබී තිබූ අතර, කොටින්ට අවශ්‍ය සියලු නීතිවිරෝධි උපකරණ මුහුදු මාර්ග ඔස්සේ සැපයුම යහමින් සිදු කෙරිණි. රජයේ හමුදාව භාවිත කළ සන්නිවේදන උපකරණවලට වඩා ප්‍රබල සන්නිවේදන උපකරණ කොටි ත්‍රස්තවාදීන් සතුව තිබිණි. හමුදාව හා සිදු වූ සටන්වලදී අත්පත් කරගත් සන්නිවේදන උපකරණද ඔවුහු මේ සඳහා යොදාගත්හ. කෙසේ වෙතත් 2006දී ගුවන් හමුදාව සිදු කළ ක්‍රියාන්විතයකදී ඔවුන්ගේ ඒ තාවකාලික සම්ප්‍රේෂණ කුලුන හා උපකරණ වෙත ගුවනින් බෝම්බ දමා විනාශයට පත් කරදමන්නට සමත් වූ අතර, 2009දී ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශය කොටි ග්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු එහි නව සම්ප්‍රේෂණ මධ්‍යස්‌ථානයක් ඉදි කිරීම ආරම්භ කරන ලදි. එහිදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අධීක්ෂණයෙන් ඉදි කළ මේ මධ්‍යස්‌ථානය ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් පිහිටි සම්ප්‍රේෂණ කුලුන වන අතර, එහි උස මී. 174කි. එමෙන්ම එය දකුණු ආසියාවේ පිහිටි වැඩිම උසකින් යුත් ස්වයංආධාරක සම්ප්‍රේෂණ කුලුනද වේ.
කොකාවිල් ක්‍රියාන්විතයේදී දිවි පිදූ කපිතාන් සාලිය උපුල් අලදෙණිය ඇතුළු රණවිරුවන් 54 දෙනා සිහි කරනු වස් කොකාවිල්හි රණවිරු ස්‌මාරකයක්ද ගොඩනැඟී තිබෙන අතර, ඒ අභීත රණවිරුවන්ගේ 33 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ආර්ය පදනම මෙවරද හෙට (11) විශේෂ සැමරුමක් එහි සංවිධානය කර තිබේ.
ජයනාත් පෙරේරා
ආර්ය පදනම