කළුතර නාගොඩ මහ රෝහලෙන් සිදු වූ අසාධාරණයක් පිළිබඳ මුහුණු පොතේ සටහනක් පළ කළ කාන්තාවක් ඊයේ (09) දහවල් කළුතර දකුණ පොලිසියට කැඳවා තිබුණි.
මිල්ලනිය, දැල්කඩ ප්‍රදේශයේ පදිංචි නිමේෂා මධුවන්ති නමැති කාන්තාවක මෙසේ පරීක්ෂණ කටයුත්තකට කැඳවා තිබුණි.
වෘත්තියෙන් ගුරුවරියක් වන ඇය සාක්ෂි දීමට සිය අසනීප තත්ත්වයේ පසු වන වයෝවෘද්ධ පියා සමඟ පොලිසියට පැමිණ තිබුණි.
අදාළ කාන්තාව සිය පියාගේ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් පාණදුර මූලික රෝහලට පැමිණ සිට පරීක්ෂණ වාර්තාවක් ගැනීමට කළුතර නාගොඩ මහ රෝහලට යොමු කර ඇත. ඒ අනුව කළුතර නාගොඩ රෝහලෙන් වාර්තාවගෙන ඇති අතර, එකී වාර්තාව සී. ඩී. තැටියකට ඇතුළත් කර ඇයට දී ඇත.
පසුව එම සී.ඩී. තැටිය විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා ඇති බවත්, එහි කිසිදු වාර්තාවක් නොමැති බවට වෛද්‍යවරයා දැනුම් දීමෙන් පසු ඒ පිළිබඳ නිමේෂා මධුවන්ති මහත්මිය සිය මුහුණු පොතේ සටහනක් පළ කර ඇත.
පසුව පොලිස් නිලධාරීන් හත් දෙනකු පමණ ඇයගේ නිවෙසට පැමිණ මුහුණු පොතේ පළ කළ දැන්වීම ඉවත් කර ගන්නා ලෙසත්, ප්‍රකාශකයක් දීමට දකුණ කළුතර පොලිසියට පැමිණෙන ලෙසත් දැනුම්දී තිබේ.
ඒ අනුව ඇය කළුතර දකුණ පොලිසියට පැමිණ ප්‍රකාශයක් දීමෙන් පසු ඇය මාධ්‍යයට සඳහන් කළේ තමන්ට සිදු වූ අසාධාරණය නාගොඩ රෝහල ගොස් දැනුම් දීමෙන් පසුවත් අපහසුතාවට ලක් කළ බවත්, තවත් කෙනකුට මෙවැන්නක් දෙයක් සිදු වන්න ඉඩ නොතබන ලෙසත්ය.
පැමිණිල්ල සිදු කළ බව කියන වෛද්‍යවරයා පොලිසියට නොපැමිණි බව ද නිමේෂා වැඩිදුරටත් සඳහන් කළාය.
පොතුපිටිය සුමිත් ප්‍රේමතිලක සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ