වන් ගොල්ෆේස් සාප්පු සංකීර්ණයේ ඇති අවන්හලක අරක්කැමි පාඨමාලාවක් හැදෑරීම සඳහා පැමිණි තරුණයකුගේ ගමන් මල්ලක තිබී පතොරම් දෙකක් හමුවී ඇත. මෙම තරුණයා පෙරේදා (08) සවස වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයට ඇතුළු වීමට ආ අවස්ථාවේදී ඔහුගේ ගමන් මල්ල වන් ගෝල්ෆේස් ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් ස්කෑන් යන්ත්රයට ඇතුළු කර පරීක්ෂා කිරීමේදී මෙම පතොරම් දෙක හමුවී ඇත. එම් 16 වර්ගයේ ජීව පතොරමක් සහ හඳුනා නොගත් තවත් හිස් පතොරමක් එහි තිබී හමුවී තිබේ. ඒ අනුව වන් ගෝල්ෆේස් ආරක්ෂකයින් විසින් මෙම තරුණයාව කොටුව පොලිසියට භාර දීමට පියවර ගෙන ඇත.
මෙම සිසුවා නිකවැරටිය මාගල්ලේගම පදිංචි 23 හැවිරිදි අයකු බව කොටුව පොලිසිය කියයි. ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම පතොරම් දෙක තමාට මිතුරකු මඟින් ලැබුණු බවය. මෙම පතොරම් දෙක ළඟ තබා ගත්තේ එය මාලයක් ලෙස කරෙහි එල්ලා ගැනීම සඳහා බවද ප්රශ්න කිරීම් හමුවේ ඔහු පොලිසියට පවසා ඇත. මෙම තරුණයාගේ පසුබිම් තොරතුරුද පොලිසිය සොයා බලා තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඔහු යහපත් චරිතයක් ඇති කලහකාරී හෝ අපරාධ ක්රියාවන්ට සම්බන්ධ අයෙක් නොවන බව යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගයාන් කුමාර වීරසිංහ