දේශපාලනය පැත්තකට දාලා රට ගොඩනඟන ගමනක තමයි අපි ඉන්නේ. ඡන්ද ගැනීමේ අපේක්ෂාවෙන් විටන් විට ගෙනැවිත් තිබූ පැරණි කම්කරු නීති වෙනුවට, රට දියුණු කළ හැකි රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් වන කම්කරු නීති පද්ධතියක් සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් එහිදී දේශපාලන වාසි බලාගෙන කටයුතු කර නැති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ පෙරේදා (08) කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අකිල විරාජ් කාරියවසම් මහතා සංවිධාන කළ කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.
ගෝඨාභය පත් නොවුණා නම්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුණා නම්, මේ රට මේ තරම් ආර්ථික ආගාධයකට ඇදවැටුණේ නැති නම් මේ රටේ කාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගය තේරෙන්නේ නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැණපු, චෝදනා කරපු මිනිස්සු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කියන්නේ අපට වැරදුණා කියලයි.
මීට කලින් රට සාමාන්‍ය තත්ත්වයෙන් පැවති හැම වෙලාවකම අපේ නායකතුමා මේ දේවල් කරන්න හදන විට කකුලෙන් ඇද්දා. බදු පැනෙව්වම බදු කපනවා කියලා ඡන්දේ ගත්තා. පොහොරවලට දුන්න සහනාධාරය නැති කළාම පොහොර සහනාධාරයක් දෙන්නම් කියලා ඡන්දේ ගත්තා. ඒ වගේ ඡන්දය ගැනීම වෙනුවෙන් පොරොන්දු දෙන, මිනිස්සු රවට්ටන දේශපාලනය අවසන් වන තරමට මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. හරි මාවතක, ගමනක් යන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පමණයි කියන එක මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි.
තෙල්, බෙහෙත්, ගෑස් නැතිව මිනිස්සු පෝලිම්වල මැරෙන්න යන වෙලාවේ අපි කෑගහලා කිව්ව වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා රට භාර ගත්තා නම් මොකද වෙන්නේ? එදා අගමැති ධුරය භාර නොගැනීම සම්බන්ධයෙන් අපි අත් දෙකම උස්සලා ස්තුතිවන්ත වෙන්න ඕනෑ. ඔහු එදා අගමැති ධුරය භාර ගත්තා නම් මේ රට මෙහෙම ගොඩගන්න ලැබෙන්නේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු ත්‍රාඩයින් හරවලා යවන්න ඔහුට පුළුවන් වේවිද? අපි අපේ මිනිස්සුන්ගේ දේවල් බලාගන්නම් කියලා අමෙරිකාවට, එංගලන්තයට, කැනඩාවට කියන්න පුළුවන් වේවිද? අපේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් කියලා කියන්න පුළුවන් වේවිද? හැම දේටම වඩා මට මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා කියන්න පුළුවන් වේවිද? සජිත් ප්‍රේමදාසට එහෙම කියන්න කොන්දක් නෑ. ඒ කොන්ද තිබුණේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. මේ රට ගොඩනැඟීමේ සිහිනය, මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියන අධිෂ්ඨානය හැර වෙන කිසිවක් එතමාට තිබුණේ නෑ. හතර වටෙන් වට කරලා ගහද්දී, ගේ ගිනි තියද්දී, මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කියලා හිතන නිසා තමයි එතුමා මේ අභියෝගය භාර ගත්තේ. එතුමා මේ අභියෝගය භාර ගත්තේ නැතිනම් කී දාහකගේ ගෙවල් ගිනි තියලද? අද පාර්ලිමේන්තුවක් නෑ. රට පාලනය කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්. මේ තත්ත්වය වෙනස් කරලා රට අද තියෙන තත්ත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. දැන් අපි මේවා කරගෙන යනකොට එක එක අය, එක එක කතා කියනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු වෙලාවේ නාලක ගොඩහේවා මහත්තයා එක එක කතා කිව්වා. විනිමය සුරැකුම්පත් කොමිසමේ තිබුණු ප්‍රශ්න, ක්‍රිෂ් ගනුදෙනුව වෙලාවේ තිබුණු ප්‍රශ්න මතකද? ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු වියත්මඟේ නායකයා ඇවිත් දැන් කියනවා ණය ප්‍රතිව්‍යුහතකරණය කළාට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න වෙනවා කියලා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැතිනම් මොකක්ද වෙන්නේ? ජී.එල්. පීරිස්ලාත් ඔය එක එක කතා කියනවා. රාජපක්ෂලා කරපු හැම එකටම යර්ස් යර්ස් කියපු අය තමයි මේ. දේශපාලනයේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් තමයි දේශපාලනය ඉගෙන ගත්තේ. නැතිනම් ප්‍රේමදාස මහත්තයා නැතිවුණු වෙලාවේ ලංකාවට ගොඩ බැහැලා දැන් මගේ අම්මා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙන්නේ නැද්ද කියලා අහන්නේ නෑනේ. ඒ තරම්වත් ව්‍යවස්ථාව දැනගෙන හිටියේ නෑ. දැන් ඔහු සමඟ ඉන්න හැමෝම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවල හිටපු අය. එහෙම තිබියදී අද සජිත් ප්‍රේමදාසගේ උපදේශකයෝ වෙලා තියෙන්නේ, නාලක ගොඩහේවලා. ජී.එල්. පීරිස්ලා. ඩලස් අලහප්පෙරුමලා. එදා පාක්ෂිකයන්, පක්ෂයෙන් ඈත් වුණේ පක්ෂයට ජනාධිපතිවරයෙක් පත් කරන්න. අද එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා රට හදනවා. එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන ගමන අපි ආරම්භ කරනවා.
අනුර ප්‍රේමලාල්