Home » ඩීෆ්‍රීසර් සහිත ලොරියේ ලක්ෂ 80ක මස් පොලිසියට ලක්ෂ 3ක් දී පැන යන්න හදලා

ඩීෆ්‍රීසර් සහිත ලොරියේ ලක්ෂ 80ක මස් පොලිසියට ලක්ෂ 3ක් දී පැන යන්න හදලා

by admin
July 10, 2023 1:00 am 0 comment

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට ලක්ෂ 3ක අල්ලසක් ලබා දී පලා යාමට තැත් කළ, ගව මස් සහ එළු මස් ඇතුළු අපද්‍රව්‍ය තොගයක් අධි ශීතකරණ සහිත ලොරි රථයකින් නීති විරෝධී ලෙස කොළඹට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු, රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා මස් තොගයක් සමඟ ඊයේ (9දා) අලුයම අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඹන්පොල සහ කොළඹ මාලිගාකන්ද ප්‍රදේශයේ පදිංචි 56 සහ 57 වියෙහි පසුවන පුද්ගලයන් දෙදෙනෙකි.
සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී නීති විරෝධී ලෙස බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ප්‍රවාහනය කළ ගවයන් 42 ගේ සහ එලුවන් 7ගේ මස්, හිස් කබල්, බඩවැල්, අඟ කොටස් ඇතුළු අපද්‍රව්‍ය කිලෝ 6000කට වැඩි ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි.
ගලෙන්බිඳුණුවැව මුස්ලිම් කටුකෑලියාව ප්‍රදේශයේ සිට කොළඹ මාලිගාකන්ද ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබූ මෙම ලොරි රථය අනුරාධපුර පුල්යාර හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත් මෙම මස් ජාවාරම වසර 5කට අධික කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
උසස් පොලිස් නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් සූක්ෂ්ම ලෙස මාර්ග බාධකවල රාජකාරියේ නිරත නිලධාරීන් නොමඟ යවමින් මෙම මස් ජාවාරම සිදු කර ගෙන යාම සඳහා ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන්ගේ සහ ඇතැම් දූෂිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ යෝගය ලැබී තිබූ බවද කොට්ඨාශ බුද්ධි අංශ අනාවරණය කර ගෙන තිබූ බව පොලීසිය සඳහන් කළේය.
බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එය අව භාවිතා කර සිදු කළ මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට පත් වූ අවස්ථාවේ දී, කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසට රුපියල් ලක්ෂ 3 ක මුදලක් ලබා දීමට එකඟතාවය පළ කර, පැන යාමට උත්සාහ කළ බවද පොලිසිය කියයි. මුස්ලිම් කටුකැලියාව ප්‍රදේශයේ පවත්වා ගෙන යන නීති විරෝධී ඝාතකාගාර තුළ අමානුෂික ලෙස මෙම සතුන් ඝාතනය කර ඇති බවද පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (9දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.චමින්ද ගුණසේකර මහතා, උප පො. පරීක්ෂක රාජගුරු, පො.සැ. බණ්ඩාර (48317), පො.සැ. නිශාන් (61406), පො.කො. රාජරත්න (66934), පො.කො. අජිත් (70066) යන නිලධාරීහු මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

අනුරාධපුර සංචාරක සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT