Home » පොළොන්නරුව හෝටලයක නාන තටාකයේ වතුර තෙප්පන් ඇළට යවලා කළමනාකරු උසාවි කැඳවන්න නියෝග

පොළොන්නරුව හෝටලයක නාන තටාකයේ වතුර තෙප්පන් ඇළට යවලා කළමනාකරු උසාවි කැඳවන්න නියෝග

by admin
July 10, 2023 1:00 am 0 comment

පොලොන්නරුව අභය භූමියට අයත් පරාක්‍රම සමුද්‍රයේ, තෝපාවැව ආසන්නයේ තෙප්පන් ඇළ ආසන්නයට සුදුඅරලිය හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය හා මුළුතැන්ගෙයි කළු පැහැති අපවිත්‍ර ජලය, භූගත නලයක් මඟින් බැහැර කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් පසුගියදා (6) පොලොන්නරුව අධිකරණයට බී වාර්තාවක් මඟින් කරුණු වාර්තා කළ බව පොලොන්නරුව වන සත්ත්ව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කළේය.
අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාවේ සඳහන් වන්නේ, පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මැයි 31 වැනිදා පොලොන්නරුව අභය භූමියේ පරාක්‍රම සමුද්‍රයට අයත් තෙප්පන් ඇළ ආසන්න ප්‍රදේශයේ වැව් ජලයට ඒ ආසන්න සංචාරක හෝටල් දෙකකින් නාන තටාකවල සිට ජලය බැහැර කරන බව නිරීක්ෂණය කළ බවයි. ඒ අනුව 1964 අංක 44, 1970 අංක 01, 1993 අංක 49, 2009 අංක 22, දරන අණ පනත්වලින් සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත (46 අධිකාරිය) උල්ලංඝනය වන ලෙස කටයුතු කර ඇති බවට නිරීක්ෂණය කිරීමත් සමඟ ඊට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බව පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කේ. විජයකෝන් මහතා අප කළ විමසීමකදී කියා සිටියේය.
මෙම ආඥා පනත උල්ලංඝනය කිරීම යටතේ තෙප්පන් ඇළට නාන තටාකවලින් අපවිත්‍ර ජලය බැහැර කිරීම සම්බන්ධව පොලොන්නරුව ලේක් හවුස් හෝටලයේ කළමනාකාරීත්වයට 2023 ජුලි 15 වැනිදා පොලොන්නරුව අධිකරණයේ නඩු පවරා රුපියල් තිස්දාහක දඩමුදලක් නියම කිරීමට කටයුතු කර ඇති බවද පොලොන්නරුව වනජීවී කාර්යාලය පැවසීය. මෙම සංචාරක හෝටල් පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිදු කරන ලද විමර්ශනවලදී හෝටල් සංස්ථාවෙන් පාලනය වන කාලයේ සිටම මේ ආකාරයට නාන තටාකවලින් අපවිත්‍ර ජලය සහ මුළුතැන්ගෙයි ජලය තෙප්පන් වැවට මුදාහැරි බවට අනාවරණය වී ඇති බවද වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබා ගන්නා ජල මණ්ඩලය මීටර් 500ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවත් පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බී වාර්තාවේ කරුණුවල සඳහන් වේ,
ඒ අනුව මේ පිළිබඳව විමර්ශන සිදුකොට අදාළ සැකකරුවන් සහ සුදුඅරලිය හෝටලයේ කළමනාකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග නිකුත් කර ඇති බවත් එම කාර්යාලය සඳහන් කළේය.

මනම්පිටිය – නිමල් ජයරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT