රජයෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව යුරෝපා සහ මැද පෙරදිග ආදි රටවලට යවන බව කියමින් පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ඒජන්සියක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (9) කුරුණෑගලදී වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුණෑගල බෞද්ධාලෝක පාරේ ගොඩනැඟිල්ලක මෙම ව්‍යාජ ඒජන්සිය පවත්වාගෙන ගොස් තිබුණි. අත්අඩංගුවට ගත් ඒජන්සිකරු කුරුණෑගලම පදිංචිකරුවෙකි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද පැමිණිලි මත මෙම ව්‍යාජ ඒජන්සිය පරීක්ෂාවට ලක් කරනු ලැබීය.
අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරිකයා ගුවන් ටිකට්පත් ලබා දෙන ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ මුවාවෙන් රුසියාව, රුමේනියාව , මැලේසියාව සහ කටාර් , ඩුබායි ආදි රටවල රැකියා ලබා දෙන බව පවසමින් මෙම ඒජන්සිය පවත්වාගෙන ගොස් ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් මෙම ස්ථානය වැටලූ අවස්ථාවේදී එම ස්ථානයේ තිබී ගුවන් ගමන් බලපත්‍ර පහක් සමඟ විදෙස් රැකියා අයැදුම්පත් , වෛද්‍ය වාර්තා , පොලිස් නිශ්කාෂණ වාර්තා , පවුල් පසුබිම් , රැකියා ගිවිසුම් වාර්තා විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී තිබේ. විශාල කාර්ය මණ්ඩලයක් සමඟ සැකකරු මෙම ව්‍යාජ රැකියා ඒජන්සිය පවත්වාගෙන ගොස් තිබේ.
මෙම ඒජන්සිය රජයේ බලපත්‍රයක් ලබා නොගෙන නීති විරෝධී ව්‍යාජ ඒජන්සියක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවද මෙහි හිමිකරු රැකියා බලාපොරොත්තුව පැමිණෙන පුද්ගලයන් තවත් ඒජන්සියක් වෙත යොමු කර ඒ සඳහා මුදල් ලබාගෙන ඇති බවද කියයි. එම පුද්ගලයාද ව්‍යාජ විදෙස් රැකියා ඒජන්සියක් පවත්වාගෙන යමින් විශාල පිරිසකගෙන් මුදල් වංචා කිරීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන මේවනවිට රිමාන්ඩ් භාරයට පත් කර සිටින පුද්ගලයෙකු බවද වාර්තාවේ.
අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයේ කළමණාකරු කපිල කරුණාරත්න , විශේෂ වැටලීම් නිලධාරීන් වන සරත් මුණවීර , ඉඳුනිල් පුෂ්පකුමාර, දුෂාන් විජේවර්ධන, නදීකා චන්ද්‍රමාලී, ගයේෂා සුභාෂිණි, ජේ. එල්. එම්. දමයන්ති යන නිලධාරීහූ මෙම වැටලීමට සහභාගි වූහ.
කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න