Home » වගුරු බිමක් හොරෙන් ගොඩ කරන්න ආ පොලිස් ට්‍රැක්ටරේ අල්ලයි

වගුරු බිමක් හොරෙන් ගොඩ කරන්න ආ පොලිස් ට්‍රැක්ටරේ අල්ලයි

by admin
July 10, 2023 1:43 am 0 comment

අංක තහඩු නෑ : බලපත්‍රත් නෑ
හැමදාම ඩීසලුත් ගහලා

බෙල්ලන්විල අභයභූමි රක්ෂිතයේ මන්ත්‍රීමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් නීති විරෝධි ලෙස ගොඩ කිරීමට පැමිණි අංක තහඩු රහිත දෙහිවල පොලිස් නිලධාරි මහතකුට අයත් යයි කියන පස් හා අබලි ද්‍රව්‍ය සහිත ට්‍රැක්ටරයක් සමග පුද්ගලයන් දෙදෙනකු ඉකුත් 8 වන දින පස්වරුවේ අත්තිඩිය වනජීවි කාර්යාලය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වනජීවි කාර්යාලය කියා සිටී.

අත්අඩංගුවට පත් සැකකරුවන් දෙහිවල හා ගල්කිස්ස බඩෝවිට යන ප්‍රදේශවල පදිංචිව සිටින අයද වන බවත් වනජීවී කාර්යාලය නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇති පරිදි මෙම ට්‍රැක්ටරය දෙහිවල පොලීසියේ රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකුට අයිති එකක්ද වන බවත් දිනපතා ඩීසල් ලබා දෙමින් මෙම දෙදෙනා සමග ට්‍රැක්ටරය මෙවැනි කටයුතුවල යොදවා ඇති අතර,අංක තහඩු නොමැතිව කිසිදු ලියවිල්ලක් පවා නොමැතිව දෙහිවල ගල්කිස්ස මාර්ගවල ධාවනය කළද පොලිස් නිලධාරීන් එම ට්‍රැක්ටර් රථය හදුනන නිසා නතර කර පරීක්ෂාවට ලක් නොකරන බවත් අනාවරණයවී ඇතැයිද වනජීවී නිලධාරීන් කියා සිටී.

මෙම අංක තහඩු නොමැති ට්‍රැක්ටරය මීට පෙර අවස්ථාවකදී බෙල්ලන්විල විහාරස්ථානය ඉදිරිපිට තෙත් බිමක් ගොඩ කිරීමට පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළවිට එකවර ට්‍රැක්ටර් රථය පන ගන්වා ඉදිරියට ගෙන වනජීවි නිලධාරීන් පැමිණි කැබ් රථයේ හප්පා බරපතල අලාභ සිදුකර පලායාම සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇතැයි වනජීවි නිලධාරීන් කියාසිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා දේපලද සමග වනසත්ව හා වෘක්‍ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වනජීවි අපරාධයක් සිදුකර ඇති බැවින් නීතිමය කටයුතු සදහා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ බවත් එහිදී ට්‍රැක්ටර් රථය මෙහි විමර්ශන කටයුතු අවසන් වන තුරු මුදා නොහැර අධිකරණය භාරයේ තබන ලෙසටත් සැකකරුවන්ට තම ළගම ඥතීන් දෙදෙනකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප ලබා දුන්නද කිසිවකු ඉදිරිපත් නොවූයෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබිණැයි වනජීවී කාර්යාලය පවසයි.

මෙම වැටලීම බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියේ අඩවි ආරක්ෂක සමන් ලියනගම, සහකාර අඩවි ආරක්ෂකවරුන් වන එරන්ද රත්නායක, යූ.ජේ.සෙනරත්, වනසත්ව නියාමක යසන්ත සොයිසා සහ ගල්කිස්ස පොලීසිය පරිසර අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් මහතා ඇතුලු නිලධාරීන් විසින් සිදුකරනු ලැබිණි.

දෙහිවල-ඩී.පී.හේරත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT