Thursday, May 15, 2025
Home » බස් එක වතුර යටට ගිහින් ආයෙත් උඩට ආවා

බස් එක වතුර යටට ගිහින් ආයෙත් උඩට ආවා

මම බස් එකේ ජනේලෙකින් රිංගා ගොඩට ආවා

by gayan
July 11, 2023 1:00 am 0 comment

  • කේ. ඩී. රාගල් සිය බිහිසුණු අත්දැකීම ගැන කියයි
  • මිය ගිය අය අතර සරසවි සිසුන් දෙදෙනකුත්:
  • මළසිරුරු 07ක් හඳුනා ගනී:තව 4ක් හදුනාගන්න මහජන සහාය පතයි
  • දමිත් වගේ මිතුරෙක් අපට කිසිදා යළි මුණ නොගැසේවි : දමිත්ගේ පාසල් මිතුරෙක් කියයි
  • මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ 25දා

ඔයේ කිඹුලන් බහුල නිසා ජීවිත බේරා ගත්තේ අලි වෙඩි ගසමින්
පළාතම දෙවනත් කරමින් ඔයට වැටුණු බස් රථයේ සිට පුද්ගලයන්ගේ අදෝනා හඩ ඇසෙත්ම අවට සිට දිව ආ පුද්ගලයන් තමන්ගේ ජීවිත අවදානමද නොතකමින් ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්තේ ඔයේ සිට කිඹුලන්ගේ ග්‍රහණයෙන් මිදීමට අලි වෙඩි ද දල්වමිනි. අලි වෙඩි හඩට කිඹුලන් ඉවත්ව යද්දී වහා වහා යුහුසුළු වූවන් බස් රථයේ සිට අත පය බිඳි ගිය පුද්ගලයන් මෙන්ම මගීන් ඉවතට ගත්තේ අනේ හපොයි වුණු විපත්තියක් යැයි කියමිනි.

තම අතට සුක්කානම ගත් විගස තමන් මෙන්ම අනෙක් මිනිසුන්ගේ ජීවිත තම අතේ බව නොසිතන රියැදුරන් බොහෝය. ඇතැම්විට මේ රියැදුරු ද එවැන්නෙක් විය හැකිය. පෙරේදා (09) රාත්‍රීයේ මනම්පිටිය කොටලීය පාලමෙන් ඔයට බසයක් පෙරළීමෙන් වූ සිත් සසල කරවන මාරක රිය අනතුරෙන් දරුවන්ට මවුපියන් මෙන්ම ඥාතින්ට තම සහෘදයන් දස දෙනෙකු අහිමි කරමින් තවත් පුද්ගලයන් 44කට තුවාල සිදු කළේ හිත් පිත් නැති යකඩ කඳේ වරදකින් ද, නැතිනම් එහි සුක්කානම ඇතැතිව සිටී අයගේ වරදින් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.

අනතුරට ලක් වූ බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිසි අවසර පත්‍රයක් නැති බවත්, අදාළ බස් රථ රියැදුරුට එරෙහිව මීට පෙර ද අන්තරාදායක රිය පැදවීම සම්බන්ධයෙන් දඩ නියම කර ඇති බවද වාර්තා වේ. බස් රථය රියැදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරු මත්පැන් පානය කර නොසිටි බවත් වෙනත් විෂ මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටියේ ද යන්න සොයා මේ වන විට පරීක්ෂණ සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙවැනි අනතුරුවලින් දුක් විඳින්නේ රියැදුරන්ට වඩා මගීන් මෙන්ම පදිකයන්ය. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි දිනපතා දැක ගත හැක්කේ සිත් සසල කරවන සිදුවීම් ද සමඟිනි. මෙවැනි වළක්වාගත හැකි අනතුරුවලින් බේරා ගත හැකි ජීවිත කොතෙක්ද? නමුත් නොසැලකිලිමත්කමින් සහ අපරීක්ෂාකාරී රිය ධාවනයෙන් මවුපියන්ට දරුවන් ද, දරුවන්ට මවුපියන් ද, ආදරණීය සහෘදයන් ද, ඥාති මිත්‍රයෝද අහිමි වී යති. තවත් බොහෝ දෙනෙකු නොයෙක් අනතුරු හේතුවෙන් ජීවිත කාලයටම දුක් විඳිති.

මනම්පිටිය කොටලීය පාලමේ දී බස් රථය ඔයට පෙරළීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 44ක් මනම්පිටිය සහ පොලොන්නරුව රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ බස් රථ අනතුරින් පිරිමි පුද්ගලයන් 9ක් සහ කාන්තාවක් මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. කඳුරුවෙල සිට කාත්තන්කුඩි බලා ධාවනය වෙමින් තිබූ බස් රථයේ මඟීන් 70ක් පමණ

ගමන් ගත් බව බස් රථයේ සිටි මගීහු පවසති.

අනතුරින් තුවාල ලබා පොලොන්නරුව රෝහලේ 12 සහ 2 වාට්ටුවල ප්‍රතිකාර ලබන එරාවුර් පදිංචි 62 හැවිරිදි බෙල්ලන් තම්බි මහතා බස් රථ අනතුර ගැන මෙසේ අදහස් දක්වයි.

“මම කොළඹ සිට ආවේ එරාවුර් යන්න. සවස 7.00ට පමණ බස් රථයට ගොඩවුණා. බසය අධික වේගයෙන් ගියා. කොටලීය පාලම ළඟදී එක පාරටම බස් රථය ඔයට පෙරළුණා. මම ජනේලයෙන් ගොඩට ආවා.”

පොලොන්නරුව රෝහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබන කේ. ඩී. රාගල් (48) මහතා සිද්ධිය ගැන තමා මුහුණ දුන් බිහිසුණු මතකය මෙසේ අවදි කළේය.

“මම කොළඹ සිට කඳුරුවෙලට ආවා. සවස 7.30ට පමණ බස් රථය කාත්තන්කුඩි බලා ධාවනය වුණා. බස් රථය වේගයෙන් ධාවනය වුණේ කොටලීය පාලම ළඟදී අපි ගමන් ගත් බස් රථය පාලමෙන් පෙරළී ඔයට වැටුණා. බස් එක වතුර යටට ගොස් නැවත උඩට ආවා. මම බස් එකේ ජනේලෙකින් ගොඩට ආවා. බස් රථයේ සිටි අය වෙනත් අයගේ උදව්වෙන් ගොඩට ආවා. සමහර අය ගොඩට ගන්නවත් දැක්කා. හැමෝම බය වෙලා හිටියේ. සමහරුන්ට කතා කරන්නවත් බැරිවයි හිටියේ. අපිව ගිලන් රථවලින් රෝහලට ගෙනාවා.”

කඳුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කරමින් තිබූ මේ බස් රථය අනතුරට පත්වීමෙන් නැඟෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු ඇතුළුව පිරිමි පුද්ගලයන් නම දෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇති බව පරීක්ෂණ පවත්වන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියැදුරු මඩකලපුව සන්දිවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වයසැති අයකු බවද පොලිසිය කියයි.

මේ පෞද්ගලික බස් රථය උතුරු මැද පළාත් මාර්ගවල ධාවනය කිරීමට මාර්ගස්ථ බලපත්‍රයක් ගෙන නැති බවත් පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පොලිසිය කියයි.

මේ මාරක අනතුරට හේතුව රියැදුරුගේ අපරීක්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය පැදවීම බව මනම්පිටිය පොලිසිය පවසයි.

මේ අනතුරෙන් වැලිකන්ද බොරවැව අංක 130 ලිපිනයේ පදිංචිව සිටි අවුරුදු 18ක තරුණයකු ද මියගොස් ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.

කොළඹ පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වූ එම තරුණයා මවුපියන් සමඟ තම මිත්තණියගේ මළ නිවෙසට යෑම සඳහා කඳුරුවෙල නගරයෙන් ගමන් අරඹන කල්මුණේ බස් රථයට ගොඩ වී තිබේ.

මියගොස් සිටින සෙසු අය කල්මුණේ සහ අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව පොලිසිය සඳහන් කරයි.

මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පොලොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇත. මේ බස් රථය අනතුරට පත්වීමෙන් පසු මනම්පිටිය පොලිසිය, යුද හමුදාව, විශේෂ කාර්ය බළකාය නාවික හමුදාව ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව පැය තුනක පමණ මෙහෙයුමකින් අනතුරුව බස් රථයේ සිර වී සිටි තුවාලකරුවන් 41ක් පමණ ගොඩට ගෙන පෞද්ගලික වාහන සහ ගිලන් රථවලින් මනම්පිටි‍ය සහ පොලොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබුණි.

මේ බස් රථ අනතුරෙන් මියගිය ඇතැම් අයගේ තොරතුරු මෙතෙක් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවත්, එම අයවලුන්ගේ ජාතික හැඳුනුම්පත් සහ ජංගම දුරකතන මෙන්ම ගමන්මලු මනම්පිටිය කොටලීය ඔයට වැටී තිබීම ඊට හේතුවක් බවද පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

තුවාල ලැබ පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ගමන්මලු සහ ජංගම දුරකතන කීහිපයක් මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුද හමුදාව, පොලිස් නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් ගොඩට ගෙන පොලිසියට බාරදී ඇති බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා අප කළ විමසීමකදී පැවසීය.

බස් රථය කොටලීය ඔයට වැටීමෙන් බස් රථයට තවත් මගීන් යට වී ඇති ද යන්න සොයා බැලීමට කමාන්ඩෝ බළකාය මාදුරුඔය හා වැලිකන්ද යුද හමුදා කඳවුරුවල පිහිනුම් ඒකක, මෙන්ම ආරක්ෂක අංශ ඊයේ (10) විශේෂ මෙහෙයුමක්ද ආරම්භ කර තිබිණි.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ සහ වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල සරත් කුමාර මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ අනතුර ගැන වැඩිදුර විමර්ශන සිදු කරයි.

කොටලීය බස් අනතුර සම්බන්ධයෙන් මළසිරුර හතක් හඳුනාගෙන ඇති අතර ඊයේ (10) සවස් කාලය වන තෙක් මළසිරුර 4ක් හඳුනාගෙන නැත. හඳුනා නොගත් මළසිරුර හඳුනාගැනීමට පොලොන්නරුව රෝහලේ රෝහල් පොලිසිය මහජන සහාය පතයි .

දැනට මළ සිරුරු හඳුනාගෙන ඇති අය මෙසේය.

එරාවුර් පදිංචි මොහෝ මුදු ඉබ්‍රහිමි මහරුප් (42),

දුම්මලසූරියේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ

සරිත දිසානායක (23), එරාවුර්හි පි.ටුතාප්,

ඩබ්ලිව්. ඒ. එම්. සාගර අතපත්තු (26), සෙවණපිටිය එ. එම්. ඒ. උල්ෂාන් (18) ඔලුවිල්හී රෂාදින් මොහොමදු යන අයය.

පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ කඳුරුවෙල සහ මනම්පිටිය අතර මෙවැනි අනාරක්ෂිත පටුපාලම් දෙකක් පිහිටා තිබෙන අතර, එම පටු පාලම් දෙකෙන් පසුගිය කාලවලදී බස් රථ, යතුරු පැදි මෙන්ම වාහන විශාල වශයෙන් අනතුරට ලක්ව මිනිස් ජීවිත අහිමි වී ඇති බවත්, මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන එම පටුපාලම් දෙක ඉතා කඩිනමින් පුළුල් කර මේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන ජනතාවගේ ජීවිත ආරක්ෂා කර දෙන ලෙස රියැදුරන් මෙන්ම මගී ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මනම්පිටිය බස් අනතුරින් මුළු රටම කඳුළින් තෙත් කරන විට ආණමඩුව ඉහළ උස්වැව ගම්මානය ද එම කඳුළු අතරට එක්වෙමින් 23 හැවිරිදි දමිත් සාගර අතපත්තු තරුණයාගේ මරණයෙන් කම්පාවට පත්වි සිටිති.

රියැදුරුගේ නොසැලකිල්ලෙන් මගීන් රැගෙන යමින් තිබුණු පෞද්ගලික බස් රථයක් මනම්පිටිය කොටලීය පාලමෙන් වැටී මරණයට පත්වුවන් අතර ආණමඩුව ඉහළ උස්වැව දමිත් සාගර අතපත්තු (23) තරුණයාද මරණයට පත්ව තිබුණි.

නැඟෙනහිර (මඩකලපුව ) විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පිඨයේ අධ්‍යාපනය ලබමින් සිට දමිත් සාගර පවුලේ දෙවැනි දරුවා විය.

ඔහුට වැඩිමල් සොහොයුරියක් පමණක් සිටි දමිත් නිවසේ හා ගම් ප්‍රදේශයේ කා අතරත් හොඳ හිත දිනාගත් තරුණයෙකි.

මහ උස්වැව රතනපාල මහා විද්‍යාලයෙන් අපොස සාපෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඉන්පසු උසස් පෙළ හැදැරීමට ආණමඩුව මැදි මහ විදුහලට ගොස් තිබුණි.

උසස් පෙළ ඉහළින් සමත් වු දමිත් ඉන්පසුව නැඟෙනහිර විශ්ව විද්‍යාලයට 2019 වසරේ ඇතුළත් වී තිබුණි.

අධ්‍යාපන කටයුතුවලට දස්කම් දැක්වූ දමිත් නැඟෙනහිර සරසවියේ ද කැපී පෙනෙන සිසුවෙක් විය.

තම පියා හා මවගේ ආදරයත් එකම සොහොයුරියගේ හා රැකවරණයත් මැද හැදි වැඩුණු දමිත් ගම් ප්‍රදේශය පුරා හිත හොඳ තරුණයකු ලෙස කැපි පෙනුණු චරිතයකි.

ඔහු ගැන හඩ අවදි කළ ඔහු සමඟ එකට පාසල් ජීවිතය ගත කළ මිතුරන් පවසා සිටියේ දමිත් වැනි මිතුරෙකු කිසිම දිනක යළි මුණ නොගැසෙනු ඇති බවයි.

එතරම්ම ගුණ යහපත් අයකු ලෙස දමිත් සියලු දෙනා අතර හිත් දිනා තිබුණි.

දමිත්ගේ හදිසි මරණයත් සමඟ ඉහළ උස්වැව ගම්මානය එකම කඳුළුක් බවට පත් කර ඇත්තේ හිත හොඳ දක්ෂ දරුවකුගේ හදිසි නික්මයෑම ඉවසා ගත නොහැකිවීමෙනි.

රක්ෂණ ශ්‍රියන්ත සහ මනම්පිටිය – නිමල් ජයරත්න, ඇළහැර – සරත් වෙලගෙදර, පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT