මැතිවරණ කොමිසමෙන් අනාවැකි
මාලදිවයිනේ මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තියුණු මුහුණුවරක් ගනු ඇතැයි ද, දෙවැනි වටය දක්වා ඇදී යනු ඇතැයි ද එරට මැතිවරණ කොමිසම අනාවැකි පළ කර ඇතැයි වාර්තා වේ. මේ වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා පැවැත්වීමට නියමිත මාලදිවයිනේ ජනාධිපතිවරණයට නව ඡන්දදායකයන් දෙලක්ෂ අසූදහසක් ලියාපදිංචි වී ඇතැයිද එරට මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබේ. යුරෝප්ඒසියා පදනමේ වාර්තාවකින් සඳහන් කර ඇත්තේ මාලදිවයිනේ ඉහළම තනතුර සඳහා වන සටන ඉතා උණුසුම් වනු ඇති බවය. මේ වන විටත් දෙවැනි වටයේ ඡන්ද විමසීමට සැප්තැම්බර් මස 30 වැනිදාට දින නියම කර ඇතැයි ද මාලදිවයිනේ මැතිවරණ කොමිසමේ සභාපති ෆුවාඩ් තවුෆීක් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. මාලදිවයින් ප්රජාතන්ත්රවාදී පක්ෂය සහ මාලදිවයින් ප්රගතිශීලි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී ප්රබලතම අපේක්ෂකයන් වනු ඇතැයිද වාර්තා වේ.
මෙවර මාලදිවයිනේ ජනාධිපතිවරණයේදී වසර 2018 දී බලයට පත් වූ වත්මන් ජනාධිපති ඉබ්රාහිම් මොහොමඩ් සොලි සිය දෙවැනි ධුර කාලය අපේක්ෂාවෙන් තරග වැදීමට නියමිතව ඇති අතර, ඔහු ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින බව වාර්තා වේ. ප්රගතිශීලී පක්ෂයෙන් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ද, මාලදිවයිනේ ජාතික පක්ෂයෙන් හිටපු ආරක්ෂක ඇමැති මොහොමඩ් නසීම් තරග වැදීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. එරට තවත් දේශපාලන පක්ෂයක් වන ජුම්හූරි පක්ෂය ද අපේක්ෂයකු ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බව වැඩිදුරටත් වාර්තා වේ.