Home » රට ගොඩනඟන ජනපතිට ජාත්‍යන්තරයේ සහායත් හිමිව තිබෙනවා

රට ගොඩනඟන ජනපතිට ජාත්‍යන්තරයේ සහායත් හිමිව තිබෙනවා

by gayan
July 11, 2023 1:00 am 0 comment

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක

රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නිවැරදි වැඩපිළිවෙළට අද ජාත්‍යන්තරයේ ද සහාය හිමිව ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (08) රක්වාන පොළ භූමියේ පැවති රක්වාන එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය පිහිටුවීමේ රැස්වීම අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“රටේ ආර්ථිකය ගොඩනැඟීම පිළිබඳව කිසිවකු අවිශ්වාසයක් තබා ගත යුතු නෑ. රට ගොඩනැඟීමට අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ නිවැරදි දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළට අද ජාත්‍යන්තරයේ ද සහාය ලැබී තිබෙනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට නම් ආදායම් උත්පාදනය කර ගත යුතුයි. ඒ සඳහා ණය ගත යුතුයි. නැතිනම් බදු වැඩි කළ යුතුයි. අප මේ අසීරු කාලය කෙසේ හෝ පසු කළ යුතුයි. අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ ආර්ථිකය නිවැරදි මාවතකට ගෙනැවිත් තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට හැකි වුණොත් එය රටේ පමණක් නොව ජනතාවගේත් ජයග්‍රහණයක් බව කිව යුතුයි. බිඳ වැටුණු ව්‍යාපාර දැන් නැවත ගොඩනැඟෙමින් තිබෙනවා. මේ වන විට ජනතාව තුළ රට ගැන විශ්වාසයක් ඇති වෙමින් තිබෙනවා. ඒ වගේම ආයෝජකයන්ට ද රට පිළිබඳ විශ්වාසයක් ඇති කළ යුතුයි. ආයෝජන ඉහළ නංවාගැනීමෙන් රටට ආදායම් උත්පාදනය කළ හැකියි.

එදා ගෙන ගිය වැරදි ප්‍රතිපත්ති නිසා ගොවි ජනතාව දුෂ්කරතාවට පත් වුණා. මේ වන විට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලැබෙනවා. කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට අපේ රටේ තිබෙන සම්පත් යොදා ගත යුතුයි. එය වැඩිදියුණු කිරීමට තාක්ෂණය ද භාවිත කළ යුතුයි.

මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න පුළුවන්. අපි නිර්මාණය කරන නව ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් තිබෙනවා.

එදා අප සමඟ විරුද්ධව කටයුතු කළ දේශපාලන පක්ෂ එක් කර ගනිමින් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට ගොඩනඟමින් සිටිනවා. අප එහිදී පක්ෂයක් ලෙස අපගේ වගකීම් ඉටු කරනවා සේම පක්ෂයේ උන්නතියට ද අවශ්‍ය පියවර ගත යුතුයි. පක්ෂයක් ලෙස අපේ නව වැඩපිළිවෙළ තරුණ තරුණියන් අතරට ගෙන යමින් ඔවුන් ද ඊට දායක කර ගත යුතුයි.”

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා

“මේ වන විට එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල 75කට වැඩි ප්‍රමාණයක් පිහිටුවා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම අනිවාර්ය කාරණයක්. සියලු දේශපාලන පක්ෂ ඒකාබද්ධ කරගෙන සන්ධානයක් ගොඩනඟමින් 2024 වසරේ පැවැත්වෙන මැතිවරණවලට අප මුහුණ දෙනවා.

අද අපි අසීරු යුගයක් පසු කර තිබෙනවා. එදා මේ රටේ පෝලිම් යුගයක් තිබුණා. ආර්ථික කඩාවැටීම හමුවේ කිසිවකු රට භාරගැනීමට ඉදිරිපත් නොවූ අවස්ථාවක මේ රට ගොඩගත්තේ තනි පුද්ගලයෙක්.

අද ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදුණු රටක් ලෙස ලෝකයම පිළිගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව යළි නැඟී සිටින රටක් බව ලෝකය හමුවේ තහවුරු කර අවසන්. අද මේ රටේ ජනතාවට අලුත් රටක් පිළිබඳ බලාපොරොත්තු ඇතිව තිබෙනවා.”

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන් ද, රක්වාන ආසන සංවිධායක පී. එම්. යූ. උපුල්, රක්වාන ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අයි. කේ. මහේෂ් මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT