Sunday, May 11, 2025
Home » ළිඳේ සිටි ඇතින්න හා පැටවා බේරද්දී වන නිලධාරියාට ඇතින්න ගහලා

ළිඳේ සිටි ඇතින්න හා පැටවා බේරද්දී වන නිලධාරියාට ඇතින්න ගහලා

by gayan
July 11, 2023 1:00 am 0 comment

  • නිලධාරියාට බරපතළයි
  • පැටවාත් බේරා කැලයටම මුදා හැරලා

ගල්ගමුව, මහනාන්නේරිය ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලි පැටවකු සහ ඇතින්නක් බේරා ගැනීමට කටයුතු කරන අතරතුර ළිඳෙන් ගොඩට පැමිණි ඇතින්නගේ පහරදීමෙන් වනජීවී නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගල්ගමුව වනජීවී කාර්යාලය පැවසීය.

මෙසේ වන අලි පහරදීමට ලක්ව ඇත්තේ ගල්ගමුව වනජීවී කාර්යාලයට අනුයුක්තව රාජකාරි කළ අයෙකි. පසුගිය 08 වැනි දින ගල්ගමුව මහනාන්නේරිය වැරනවැටිය ප්‍රදේශයේ කුඹුරු යායක් ආසන්නයේ වගා ළිඳකට මෙම ඇතින්න සහ පැටවා වැටී සිට තිබේ. ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ JCB යන්ත්‍රයක් ආධාරයෙන් ළිඳේ පැත්තක කණ්ඩිය කඩා ගොඩ ගැනීමට කටයුතු කරන අතරතුර ඇතින්න ළිඳේ වෙනත් තැනකින් ගොඩට පැමිණ ඇත.

ඇතින්නගේ අනපේක්ෂිත පැමිණීමත් සමඟ ළිඳ අසල සිටි පිරිස කලබලයට පත්ව දුවන්නට වූයෙන් ගොඩට පැමිණි ඇතින්න පිරිස පසුපස හඹා ගොස් ඒ අතර සිටි එස්.ඒ.ආර්. සමරක්කොඩි (43) නමැති නිලධාරීයාට හඹා ගොස් පහර දී තිබේ. ඇතින්නගේ පහරකෑමට ලක් වූ නිලධාරීයා බරපතළ තුවාල ලබා ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ අතක උරපතුව සහ තවත් අස්ථි කිහිපයකට දැඩි හානි සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාල ලැබූ නිලධාරියා රෝහල වෙත රැගෙන යන අතරතුර ළිඳේ සිටි අලි පැටවා ද ගොඩගෙන ඇතින්න ගමන් ගත් දෙසටම පළවා හැරීමට ගල්ගමුව වනජීවී නිලධාරීන් කටයුතු කළේය.

මහව – සංජීවනී ආරියරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT