Sunday, May 11, 2025
Home » වල් ඌරු මස් ප්‍රවාහනය කළ ලොරියක් රාජසන්තක කරමින් දුන් මහේස්ත්‍රාත් නියෝගය මහාධිකරණයෙන් අත්හිටුවයි

වල් ඌරු මස් ප්‍රවාහනය කළ ලොරියක් රාජසන්තක කරමින් දුන් මහේස්ත්‍රාත් නියෝගය මහාධිකරණයෙන් අත්හිටුවයි

by gayan
July 11, 2023 1:00 am 0 comment

අනුරාධපුර උපාලි ආනන්ද කරුණාදාස

නීති විරෝධිව වල් ඌරු මස් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ලොරි රථයක් රාජ සන්තක කරමින් කැකිරාව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් අභියෝගයට ලක් කරමින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සළකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසිරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා අදාළ ලොරි රථය රාජ සන්තක කරමින් කැකිරාව මහේස්ත්‍රාත්වරයා ලබාදී තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම වලකාලමින් තහනම් නියෝගයන් නිකුත් කළේය.

මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා මෙසේ නියෝග කළේ කැකිරාව මාන්කඩවල වී අළෙවි මන්ඩලය පාර ලිපිනයේ ආර්.එම්.හසිනි නිරේෂි මහත්මිය නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා මගින් අනුරාධපුර මහාධිකරණයට යොමු කළ ප්‍රතිශෝධන අයදුම්පතක් සළකා බලමිනී.

මෙම ප්‍රතිශෝධන අයදුම්පත අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ අනුරුද්ධ විජයරත්න මහතා කියා සිටියේ PW – 6740 අංක දරණ ලොරි රථයේ ලියා පදිංචි අයිතිකාරිය වන්නේ ආර්.එම්. හසිනි නිරේෂි නැමැත්තිය බවයි.

ඇගේ සැමියා එම ලොරි රථයෙන් මහනුවර දළදා මාලිගාවට නෙළුම් මල් සැපයිමේ කටයුතු වල නිතරව සිටින බවද අධිකරණයට සැළකළ නීතිඥවරයා දිනක ගමනක් ගොස් ආපසූ එමින් සිටියදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අතරමංව සිට ඇති බවද දැක අදාළ යතුරුපැදියේ යම්කිසි පාර්සලයක් තිබී ඇති බවද අධිකරණයට සඳහන් කළ නීතිඥවරයා පසුව අදාළ යතුරුපැදිකරු තම යතුරුපැදියෙන් ගෙන යමින් තිබූ පාර්සලය රැගෙන යාමට උපකාර කරන ලෙස ලොරි රථයේ රියදුරුගෙන් ඉල්ලා අති බවත් අනතුරුව යතුරුපැදියේ තිබූ පාර්සලය ලොරි රථයෙන් ප්‍රවාහනය කිරීමට රියදුරුයතුරු පැදිකරුට උදව් කර ඇති බවද පැවැසීය.

අදාළ පාර්සලයේ තිබී ඇත්තේ වල් උෘරු මස් බව රියදුරු දැනගෙන ඇත්තේ එම ලොරි රථය රිටිගල අඩවි වන නිලධාරීන් විසින් සෝදසි කළ අවස්ථාවේ බවද නීතිඥවරයා පවසා සිටියේය. කෙසේ වෙතත් වල් උෘරු මස් ප්‍රවාහනය කිරිමේ චෝදනාවට මෙම ලියාපදිංචි ලොරි රථයේ රියදුරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේදී වරද පිළි ගෙන ඇති බවත් ඒ සඳහා දඬවුම් ලෙස ඔහුට දඩ නියම කර ඇති බවත් අධිකරණයට කියා සිටි නීතිඥවරයා පසුව කැකිරාව මහේස්ත්‍රාත් තුමා විසින් අදාළ ලොරි රථය රාජසන්තක කර ඇති බවද ප්‍රකාශ කළේය.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 64 වගන්තිය යටතේ වාහනයක් රාජ සන්තක කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බලය ඇතත් මෙම ලොරි රථය රාජ සන්තක කර ඇත්තේ වාහනයක් රාජ සන්තක කළ යුතු එම නිසි නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව නීතියට පටහැනි බවටද දීර්ඝ වශයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරයා අවධාරණය කළේය. එකී තත්ත්වය තුළ මෙම ලොරි රථය රාජ සන්තක කරමින් කැකිරාව මහේස්ත්‍රාත්වරයා ලබා දී ඇති නියෝගය නීතියට පටහැනි බවට තීන්දු කරමින් එම නියෝග්‍ය ක්‍රියාත්මක කිරීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥ විජයරත්න මහතා අධිකරණයෙන් අයැද සිටියේය.

නීතිඥවරයාගේ කරුණු දැක්වීමි සළකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රිනාත් ගුණසේකර මහතා PW – 6740 අංක දරණ ලොරි රථය රාජ සන්තක කරමින් කැකිරාව මහේස්ත්‍රාත්වරයා ලබාදී ඇති නියෝගය ක්‍රියාත්මක කිරීම අත් හිටුවීමට නියෝග කරමින් මෙම ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට තීන්දු කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT