තරග පිළිබඳ ඇමැතිගේ ඉල්ලීමට ඉදිරි දිනවල ප්‍රතිචාර
ශ්‍රී ලංකාවට පනවා ඇති අන්තර්ජාතික පාපන්දු තහනම ඉවත් කිරීම උදෙසා පාපන්දු නව ව්‍යවස්ථාව අනුව නිලවරණය කඩිනමින් පවත්වන ලෙස ලෝක පාපන්දු නියෝජිතයෝ ශ්‍රී ලංකාවට දැනුම් දෙයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ අවධානය යොමු කළ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාපන්දු ක්‍රීඩකයින් හට ඉදිරියේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සහභාගී වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර, එම ඉල්ලීමට ඉදිරි දින කීපය තුළ පිළිතුරක් ලබා දිය හැකි බව ලෝක පාපන්දු නියෝජිතයෝ දැනුම් දුන්හ.
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවක නිරත වූ අතර, එයින් යම් සුබදායී බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම වීඩියෝ තාක්ෂණ සාකච්ඡාවට ලෝක පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල පරිපාලන ගැටලු සම්බන්ධ ප්‍රධානී කෙනී ජියේන්, ආසියානු පාපන්දු සම්මේලනයේ සාමාජික රටවල පරිපාලන ගැටලු සම්බන්ධ ප්‍රධානී වහීඩ් කර්නාඩි යන මහත්වරු හා ලෝක පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා හා නීති ගැටලු සම්බන්ධ ප්‍රධානී සාරා සොලමාලී මහත්මිය එක්ව සිටියහ.
ජාත්‍යන්තර පාපන්දු තහනමත් සමඟ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙන්ම පාපන්දු ජාත්‍යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා වූ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය. ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත්කර ගැනීමට මෙම සාකච්ඡාව යම් සාධනීය ප්‍රවේශයක් වූ බව ඇමැතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ධුර කාලය වසර හතරක් දක්වා දිගු කිරීම, පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ඡන්දයකින් තොරව තෝරා පත්කර ගැනීම, නිලවරණය රහස් ඡන්දයකින් පැවැත්වීම ආදී කරුණු නව ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බව ලෝක පාපන්දු සම්මේලන නියෝජිතයින්ගේ මතය වී තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව තුනෙන් දෙකක වැඩි බහුතරයකින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වත්තල ප්‍රදේශයේ හෝටලයකදී පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී සම්මත විය. එම නව ව්‍යවස්ථාව සම්මත කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයෝ තිදෙනෙක් ද සහභාගි වී සිටියහ. එහෙත් එම ව්‍යවස්ථාව හා ලබාදුන් මාර්ගෝපදේශ අනුව පාපන්දු නිලවරණය පැවැත්වීමට හැකියාවක් නොලැඹුණි.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, අධ්‍යක්ෂ ජනරාල් ඒ. මුතුමාල හා සොලිස්ටර් ජනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ප්‍රින්ස් ගුණසේකර