පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්
ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේ වෙත පැමිණෙද්දී තිබූ ඉලක්ක දෙකම සාර්ථක වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි අවසන් මහා තරගය ජය ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී සිල්වර්වුඩ් මහතා මේ බව පැවැසීය. කණ්ඩායමේ අපේක්ෂාවන් සම්පූර්ණ කිරීමට කැපවීමෙන් කටයුතු කළ සියලු ක්‍රීඩකයින්ට ප්‍රශංසා හිමි වන බව ඒ මහතා සඳහන් කළේය.
“පළමු ඉලක්කය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමයි. මුලින්ම ඒ ඉලක්කය සාර්ථක කළා. ඊළඟ ඉලක්කය වූණේ අවසන් තරගය ජය ගැනීමයි. පිතිකරණයේ යෙදෙන විට සිම්බාබ්වේ තණතිලි හැසිරෙන ආකාරය කොහොමද කියා වටහා ගත්තා. සැලැසුම් සකසා ඉදිරියට යන විට සාර්ථක ප්‍රතිළුල ගන්න පුළුවන්. මේ ලබාගත් වේගය ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට ගෙන ඒමට අවශ්‍යයි. අපි පසුගිය වසර දෙක තුළ ඉන්දියාවේ බොහෝ තරග ක්‍රීඩා කළා. එහි කඩුලු හැසිරෙන ආකාරය ගැන අපට අවබෝධයක් තියෙනවා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී අප වර්ධනය කර පෙන්වූ විශ්වාසය ඉදිරියට යා හැකියි“ සිල්වර්වුඩ් මහතා විශ්වාසය පළ කළේය.
“ මේ තරගාවලිය මුලදී පීඩනයක් එල්ල වුණා. මොකද ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ එකම බලාපොරොත්තුව බව අප දැන සිටියා. දැන් අපිට සතුටින් ශ්‍රී ලංකාවට යන්න පුළුවන්” සිල්වර්වුඩ් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පිලේ තරුණ පන්දු යවන්නන් වන වනිඳු හසරංග කඩුලු 22ක් හා මහීෂ් තීක්ෂණ කඩුලු 21ක් මෙම තරගාවලියේදී ලබා ගත්හ.
“අපේ පන්දු යවන්නන්ට විශාල හැකියාවක් ඇති බව මේ තරගාවලියේදී ඔප්පු කළා. විශාල අනාගතයක් ඇති ඔවුන් පන්දු යැවීමේ ඒකකය සාර්ථක කළා. ඇෆ්ගනිස්තානයට එරෙහිව හොඳ තරගමාලාවක් අප නිමා කළා. අපේ පන්දු යවන්නන් එම තරගාවලියේ ඉතා හොඳින් පන්දු යැව්වා. කඩුල්ලෙන් කඩුල්ලට පන්දු යැවීමෙන් වැඩි ප්‍රතිඵල ගත්තා” ක්‍රිස් සිල්වර්වුඩ් මහතා සඳහන් කළේය.
ප්‍රින්ස් ගුණසේකර