පිලිස්සුම් ලැබූ ධීවරයා කරාපිටියට
ගාල්ලේ සිට නාවික සැතපුම් 431ක් පමණ (කිලෝ මීටර් 798 ක් පමණ) ශ්‍රී ලංකාවට නිරිත දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී පිලිස්සුම් තුවාල ලත් මෙරට ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.
තුවාල ලබා සිටි ධීවරයා කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව පෙරේදා (11) කටයුතු කළේය.
මීගමුව ධීවර වරායෙන් ජුනි මස 22 වන දින ධීවරයන් පස් දෙනෙකු සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘සචින්ත පුතා’ නම් බහුදින ධීවර යාත්‍රාව ඉන්දුනීසියානු යාත්‍රාවක ගැටී ඇති බවත්, එහිදී එම විදේශීය යාත්‍රාවෙන් එල්ල කරන ලද පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයකු පිලිස්සීම් තුවාල ලබා ඇති බවත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදු කර තිබේ.
එම දැනුම් දීමට අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, පිලිස්සීම් තුවාල ලබා ඇති ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලෙස, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ‘SPAR MIRA’ නම් වූ වෙෙළඳ නෞකාවට කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින්, පිලිස්සුම් තුවාල ලත් ධීවරයා වෙෙළඳ නෞකාව වෙත රැගෙන, එහි ගමනාන්තය වූ සිංගප්පූරුව වෙත යන ගමන් මාර්ගය වෙනස් කර, නාවික සැතපුම් 400ක් පමණ දුරක් ගෙවා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශය වෙත පෙරේදා (11) සන්ධ්‍යාව වන විට ධීවරයා රැගෙන ඒමට කටයුතු කර තිබේ. අනතුරුව, දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් එම වෙෙළඳ නෞකාවෙන් ලබාගත් අනතුරට පත් ධීවරයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් ගාල්ල වරාය වෙත රැගෙනවිත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කෙරිණි. මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබුවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ශිවසාම් නමැති 34 හැවිරිදි ධීවර කාර්මිකයෙකි.
රක්ෂණ ශ්‍රියන්ත,
දකුණු පළාත් සංචාරක – එස්. දියගහගේ, ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ