ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ නායකත්වය අරගෙන ආර්ථික ගැටලු ටික ටික විසඳාගෙන යනවා. බංකොලොත් භාවයට පත්වී තිබුණු ඒ තත්ත්වයෙන් එළියට අරගෙන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන අපේ පක්ෂයේ නායකයා අද රටේ නායකයා බවත් නිදහසේ සිට අද දක්වා රටේ ආර්ථිකය ශක්තිමත් කළේ එක්සත් ජාතික පක්ෂයයැයි එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අකුරැස්සේදී පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා(07) එජාපයේ අකුරැස්ස බලමණ්ඩල රැස්වීමකදීය. අකුරැස්ස , පෝරඹ හිල්ටොප් උත්සව ශාලාවේදී මේ රැස්වීම පැවැත්විණි.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.එදා පොහොර, ඉන්ධන, ගෑස් ලබාගන්න ජනතාව පෝලිම්වල හිටියා. මිනිස්සුන්ට ජීවත්වෙන්න විධියක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේ රටේ විශාල පෙරළියක් ඇති වුණා. තරුණ පිරිස් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවිට ගෝඨාභය ජනාධිපතිවරයා තමන්ගේම සහෝදර මහින්ද අගමැතිවරයාට අස්වෙන්න කියා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ කියලා සජිත් , ෆොන්සේකා , අනුර තිදෙනාටම අගමැතිකම භාරගන්න කීවා. ඔවුන් අභියෝගය භාරගත්තේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආර්ථික ගැටලු විසඳන්න පුළුවන් කියා අගමැති ධූරය භාරගන්න කීවා. එතුමා ඒ අභියෝගය භාරගත්තා. එතුමාට විවිධ චෝදනා එල්ල කළා. ඇතැම් දේශපාලන කල්ලි කීවා රාජපක්ෂලා බේරගන්න එනවා කියලා. නමුත් රටේ ජනතාව ගැන හිතලා වැඩ කරගෙන ආවා. ගිය අවුරුද්දේ ජූලි 09 වැනිදා අරගලකරුවන් එතුමාගේ නිවසත් ගිනිබත් කළා. එතුමා පසුබැස්සේ නැහැ. අගමැතිවරයා හැටියට පෝලිම් නැවැත්තුවා. රටේ තිබුණු දැවැන්ත ප්‍රශ්න කීපයක් විසඳා දුන්නා. තිබුණු පීඩනයට හිටපු ජනාධිපති එතැනින් ගියා. අද උද්ධමනය ශීඝ්‍රයෙන් අඩුවෙලා. විදුලි බිල , ගෑස් , ඉන්ධන මිල අඩුවෙලා. අපේ රට බංකොලොත් වුණු රටක්. ග්‍රීසිය බංකොලොත් වෙලා අවුරුදු 10කටත් වඩා ගියා එළියට එන්න. අපේ නායකතුමා අවුරුද්දක් යනකොට බංකොලොත් භාවයෙන් රට එළියට ගත්තා. හැකියාව සහ දැනුම තිබෙනවා. අද ආර්ථිකය ශක්තිමත් කරන වැඩසටහනට විපක්ෂය කකුලෙන් අදිනවා. විපක්ෂය කෑගහනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන. විපක්ෂ නායක කියා තිබුණා මේ වැඩසටහන නිසා ආර්ථසාධක අරමුදලින් ට්‍රිලියන 11ක් රටේ අහිංසක ජනතාවගේ මුදල් ටික කෙළින්ම නැති වෙනවා කියලා. මහබැංකු අධිපතිවරයා කීවා මේක අමූලික බොරුවක් කියලා. ජනතා විමුක්ති පෙරමුණ කිව්වේ බැංකු ටික වැටෙනවා. අර්ථසාධක මුදල් ටිකත් සාක්කුවට දානවා කියලයි. විපක්ෂය හදන්නේ ජනතාව කුපිත කර ආර්ථිකය ශක්තිමත් කිරීමට හරස් වෙන්න. රටේ ආර්ථිකය හදන්නේ අහිංසක ජනතාව වෙනුවෙන්. විපක්ෂය හදන්නේ ජනතාව පුළුවන් තරම් කුපිත කර රනිල් වික්‍රමසිංහ මහතා ඊළඟ ජනාධිපතිවරණයේදී පරාජය කරවන්න. ඒ ගොල්ලන්ට ඕනෑ බලය විතරයි. ජනතාව ගැන හිතන්නේ නැහැ. ආර්ථිකය ගොඩනඟන්න විපක්ෂය සැලැස්මක් ඉදිරිපත් කර නැහැ. විසඳුමක් දී නැහැ. විපක්ෂයට ආරාධනා කළා රට හදන්න එකතු වෙන්න කියලා. දේශපාලන පක්ෂ , පාට බලන්නේ නැතිව එකතු වෙන්න ඕනෑ රට හදන්න. ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න පුළුවන් වෙන්නේ එවිටයි. එජාපය හැටියට අපි ජනාධිපතිට ශක්තියක් වෙන්න ඕනෑ. හැකියාව තියෙනවා. මේ ගෙනියන සංවර්ධන වැඩපිළිවෙළට එජාපය මූලික ආණ්ඩුවක් තියෙන්න ඕනෑ. පාක්ෂිකයන් වන ඔබ අවුරුදු ගණනක් දුක් වින්දා. මේ අවස්ථාවේ තමයි අපේ ජනාධිපතිවරයෙක් ඉන්නේ. 2015 හදපු ආණ්ඩුව හවුල් ආණ්ඩුවක්. බලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී ජනාධිපතිටයි. අගමැතිවරයාට නොවේ. ඒ කාලයේදී අපේ පාක්ෂිකයාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ හිටපු ජනාධිපතිවරයා හරස් වුණා. නමුත් දැන් අපේ නායකයා තමයි රටේ නායකයා. අපට දැන් අවස්ථාව තියෙනවා අසාධාරණය ලක්වූ පාක්ෂිකයාට සාධාරණයක් දෙන්නයැයි කීය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හිටපු ඇමැති සාගල රත්නායක මහතා –
මේ රටේ තියෙන අනාගතය මොකක්ද කියා තරුණ පරම්පරාවට විශාල සැකයක් ඇතිවුණා. තෙල් , ගෑස් , පොහොර නැතිව තමන්ගේ ආදායම් මාර්ග ඇහිරුණා. ඵලදාව වැටී ආදායම් වැටී තිබුණා. හිටපු ජනාධිපති රටෙන් පිටවෙන විට එක්කෙනයි අභියෝගය භාරගත්තේ. ඒ රනිල් වික්‍රමසිංහයි. දින කීපයක් යනවිට එතුමාගේ ශක්තිය පෙනුණා. නීතිය හා සාමය ස්ථාපිත කරන්න පැය ගණනයි ගියේ. ආර්ථිකය ස්ථාවර කරන්න කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා ආරම්භ කළා. ගිවිසුමකට එන්න මූලික වැඩ කටයුතු කළා. ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න කිය රටවල් ගණනාවකින් ඉල්ලීම් කළා. ඒකට හැමෝම එකඟ වෙන්න ඕන. ඊට පස්සේ ආණ්ඩුව බැංකුවලින් ණය අරාගන තිබුනා.
නිෂ්පාදන පිටරට යවන්න පිහිටීම ඉතා හොඳයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළාම මුදල් තැන්පතු නැතිවෙයි , බැංකු කඩාවැටෙයි කියල විපක්ෂය කිව්වා. තැන්පතුවල එක රුපියලක් වත් නැතිවුනේ නැහැ. EPF නැතිවුනේ නැහැ. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 225 න් 122 ක් හොඳයි කිව්වා. 62 න් හොඳ නැහැ කිව්වා. රටේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. රටට ප්‍රතිඵල ගෙනත් දෙන්න ජනාධිපතිතුමා ඉදිරිපත්වෙලා ඉන්නවා. වේගයෙන් යාන්ත්‍රණය ගොඩනැගෙද්දී අපි හැඩගැහෙන්න ඕන ඒ ආර්ථිකයෙන් ප්‍රයෝජන ගන්නයැයි කීය.
අකුරැස්ස එජාප ප්‍රධාන සංවිධායක දිලුක් කොළඹගේ මහතා ඇතුළු මාතර දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයන් සහ අකුරැස්ස එජාප බලමණ්ඩලයේ නියෝජිත පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.