මවට අයත් පෞද්ගලික බස් රථයේ දෛනික ආදායම අඩුවෙන් පියවීම පිළිබඳව ඇති වූ මත භේදයෙන් පසු නිවෙසින් පිටව ගිය බස් කොන්දොස්තර පුතාගේ මළ සිරුර ගලහාගම වැලිඹිස්ස කැලෑවේ වැලි ගොඩදැමීමට කපා අත්හැර තිබුණු වළක තිබී පෙරේදා (12) හමු වූ බව අඹගස්දෝව පොලිසිය පැවසීය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මැදවෙල ගලහාගම පදිංචි ආනන්ද සමරකෝන් (34) නම් දෙදරු පියෙකි. පොලිසිය පවසන අන්දමට වැලිමඩ සිට මැදවෙල දක්වා මගීන් ප්‍රවාහනය කිරීමට යොදවා ඇති මවට අයත් පෞද්ගලික බස් රථයේ කොන්දොස්තර සේවයේ යෙදී ඇත්තේ මෙසේ මරණයට පත්ව සිටින පුත්‍රයායි. පසුගිය 09 වැනි දින බස් රථයේ දෛනික අදායම ලෙසින් බස් කොන්දොස්තර පුතා මවට බාර දී ඇත්තේ රුපියල් 1,000ක් වැනි සුළු මුදලකි. මෙසේ අඩු මුදලක් ලබා දීම පිළිබඳව බස්රථ හිමි මවත්, පුතාත් අතර යම් බහින්බස්වීමක් සිදුව ඇතැයි පොලිසිය පැවසීය. සිද්ධියෙන් පසු පුතා එදින සවසම නිවෙසින් පිටව ගොස් ඇති අතර, ඔහු යළි නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන් සොයා බලා තොරතුරක් නොමැති තැන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ අනුව පෙරේදා (12) ගලහාගම වැලිඹිස්ස කැලෑව සහිත ස්ථානයක වැලි ගොඩදැමීමෙන් පසු අත්හැර දමා තිබුණු වළකට වැටී තිබියදී හමු වූ මළ සිරුර ගැමියකු දැක ඒ පිළිබඳව පොලිසිය දැනුම්වත් කර ඇත.
වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ නන්දා ඒකනායක මහත්මිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කර මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය විජේතුංග මහතාට නියෝග කර තිබේ. ඌවපරණගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.පී. රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක බී.එස්. බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පවත්වති.