කොළොන්නාව සාලමුල්ල ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඇතැම් ස්ථානයන්හි රාත්‍රී කාලයට මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර, රජයේ දේපළ සොරා ගනිමින් විශාල ලෙස අලාභ හානි සිදු කර තිබෙන අයුරු දැක ගත හැකිය. මෙම නිවාස මහල් 11කින් සමන්විත ගොඩනැඟිලි තුනකින් යුත් අතර නිවාස 1061ක් ඇත.
මෙහි C ගොඩනැඟිල්ලේ පහත මාලයේ කෙළවරක නාගරික සංවර්ධන අධිකාරියට අයත් වසා දමා ඇති නිවාස 7ක් ඇති අතර ඒ සියලුම නිවාසයන්හි වටිනා දොර ජනෙල් වීදුරු නාන කාමර තුළ ඇති කොමඩ්, ෂවර්, ජල බේසම්, කරාම ආදි සියලුම දේවල් ගලවාගෙන ගොස් ඇත.
නිවෙස්වල හිස් කාමර සහ හිස් නාන කාමර පමණක් ඉතිරිව ඇත. එම හිස් ගෙවල්වලට වී රාත්‍රී කාලයට මත්ද්‍රව්‍ය භාවිත කිරීම් අලෙවි කිරීම් ගණිකා ජාවාරම් ආදි විවිධ අපචාරයන් විශාල වශයෙන් සිදු වන බව පදිංචිකරුවන් පවසා සිටිති.
පහත මාලයේ කොරිඩෝවේ ඇති විදුලි බුබුළු සියල්ලම ගලවාගෙන ගොස් ඇති අතර, නිවැසියන් හට අඳුරේම එහා මෙහා යාමට සිදුව ඇත.එක් අවස්ථාවක විදුලි සෝපානයේ දාර පළුවක්ද ගලවා තිබුණි. මේ අතර යාබදව තිබෙන ළමා ක්‍රීඩාංගණයේ ඔංචිල්ලා දෙකම ගලවාගෙන ගොස් ඇති අතර ඒවායේ කණු දෙක පමණක් ඉතිරිව ඇත.
ක්‍රීඩාංගණයේ නාම පුවරුව ද ගලවාගෙන ගොස් තිබේ.
මෙම සියලුම සොරකම් සහ අපචාරයන් සිදු වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ කාර්යාලයක් සහ පොලිස් මුර පොළක් ද බිමි මහලේ ස්ථාපිතව තිබෙන පසුබිමකදීය.