Friday, May 16, 2025
Home » මහ කන්නයේ පැරෂුට් තාක්ෂණයෙන් වී වගා කරන ගොවීන්ට සහනාධාරයක්

මහ කන්නයේ පැරෂුට් තාක්ෂණයෙන් වී වගා කරන ගොවීන්ට සහනාධාරයක්

by mahesh
July 19, 2023 1:00 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

ලබන මහ කන්නයේ දී පැරෂුට් තාක්ෂණය යොදා ගනිමින් වී වගා කරන ගොවීන්ට,එම තැටි මිලදී ගැනීම සඳහා 75%ක මූල්‍ය සහනාධාරයක් කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

වී වගාවේ ඉහළ අස්වැන්නක් ගත හැකි පැරෂුට් තාක්ෂණය යොදා ගනිමින් හෙක්ටයාරයක බිම් ප්‍රමාණයක ගොයම් පැළ සිටුවීම සඳහා අවශ්‍ය පැරෂුට් තැටි මිල දී ගැනීමට ගොවියකුට රුපියල් ලක්ෂ 2.5ක මුදලක් වැය වන බව ගොවීන් අනාවරණය කර තිබිණි. පැරෂුට් තාක්ෂණය වී වගාවේ ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි ගොයම් පැළ සිටුවීමේ තාක්ෂණික ක්‍රමයක් වුවද මේ සඳහා අවශ්‍ය පැරෂුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට අමතර මුදලක් වැය කිරීමට සිදු වන බැවින් තමන් මේ ක්‍රමය අනුගමනය නොකරන බව ගොවීන් පවසා තිබිණි.

එහෙත් ලබන මහ කන්නයේදී ඉහළ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පැරෂුට් තැටි මිල දී ගැනීමට ගොවීන්ට 75%ක සහනාධාරයක් රජය කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට සැලසුම් කර ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයන් පිරිසක් සමඟ පෙරේදා (17) පැවති සාකච්ඡාවක දී ඇමැති අමරවීර මහතා අවධාරණය කළේය.

ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අඩු කිරීමට නම් දැනට වඩා අස්වැන්නක් ඔවුන්ට ලබා ගැනීමට සිදු වේ. දැනට හෙක්ටයාර් එකකට අපේ රටේ බොහෝ ප්‍රදේශවල ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5 සිට 4.5 දක්වා ප්‍රමාණයකි. නමුත් පසුගිය මහ කන්නයේදී අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ගොවීන් මෙට්‍රික් ටොන් 10-11 දක්වා ප්‍රමාණයක විශාල අස්වැන්නක් වාර්තා කර තිබේ.එම ගොවීන් බහුතරයකට එසේ අන්තර්ජාතික මට්ටමත් ඉක්මවා ගිය විශාල වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූයේ නව තාක්ෂණික ක්‍රම භාවිතය, නව බීජ වී භාවිතය, නිසි කලට වගා කිරීම, වල් පැළ මර්දනය මෙන්ම රසායනික පොහොර සහ කාබනික පොහොර ද කෘෂි උපදෙස් මත භාවිත කිරීම හේතුවෙනි.

එමෙන්ම අතිරේක භෝග වගා කරන ගොවීන් සඳහා සියයට 50ක සහනාධාරයක් ලබා දෙන අතර ඔවුන්ට පොහොර, වතුර මැෂින් සහ බීජ නොමිලේ ලබා දීමටත් කටයුතු කරන බව ද ඇමැතිවරයා මෙහිදී පැවසීය.දැනට වී අස්වැන්න අඩු කුඹුරු ඉඩම්වල අතිරේක භෝග වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මේ සහනාධාර ලබා දීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ද ඇමැතිවරයා මේ සාකච්ඡාවේදී ගොවි නියෝජිතයන්ට දැනුම් දුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT