කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබී මහාධිකරණ පිස්කල් ලිපිකරුවන් විසින් සොරා ගත් බව කියන හෙරොයින් පාර්සල්, මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයෙන් කොළඹ මහාධිකරණයට යොමු කෙරුණු නඩුවක, නඩු භාණ්ඩ බවට තොරතුරු අනාවරණය වන්නේ යැයි කෙසෙල්වත්ත පොලිසිය ඊයේ (18) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව විමර්ශන පවත්වන බව සඳහන් කළ පොලිසිය අදාළ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙතින් වාර්තාවක් කැඳවූ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් සිද්ධියකට අදාළ නඩු භාණ්ඩ බවට හඳුනාගත් බව පැවසීය.
B/24370 /16 නඩුවට අදාළ භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති අතර මෙහි දළ බර ග්රෑම් 11ක් වන අතර ශුද්ධ බර 534 mg බවට රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ මහාධිකරණයේ පිස්කල් භාරකාර මාතා රවීශානි ප්රනාන්දු යන අයගෙන් හා කාර්යාලයේ තවත් සේවිකාවකගේ ප්රකාශ ලබාගත් බවත් පෑනක් සෙවීමට ගොස් රජිත නමැති සැකකරුගේ ගමන් බෑගයට අත දැමූ අවස්ථාවේ දී මෙම හෙරොයින් ඉටි කවර හමු වූ බවත් ප්රකාශ කර සිටි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා සැකකරුවන් තිදෙනා තවදුරටත් මේ මස 25 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
පන්නිපිටිය දේවාල පාර පදිංචි වීරසිංහ මුදියන්සේලාගේ රසික බණ්ඩාර වීරසිංහ, පන්නිපිටිය මිහිඳු මාවත පදිංචි සම්පත් කුමාර ප්රියසාද්, නදීශ චතුරංග යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.