Thursday, May 15, 2025
Home » ජනපති ඉන්දීය සංචාරයේ ප්‍රතිලාභ ගන්න පනත් කිහිපයකට කැබිනට් අනුමැතිය

ජනපති ඉන්දීය සංචාරයේ ප්‍රතිලාභ ගන්න පනත් කිහිපයකට කැබිනට් අනුමැතිය

by mahesh
July 19, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිලාභ මෙරටට ලබා ගැනීමත් උදෙසා අවශ්‍ය තීන්දු තීරණ රැසක් පෙරේදා (17) රැස් වූ කැබිනට් මණ්ඩලයේදී ගනු ලැබූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18) පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ කැබිනට තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

ජනාධිපතිවරයාගේ මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය සඳහා අවශ්‍ය පසුතල කටයුතු පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව මේ වන විට විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ කිහිපයක් පවත්වා තිබෙන බවත් එමඟින් දෙරට අතර යහපත් තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට අදාළව පනත් කිහිපයකට පෙරේදා (17) කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමි වූ බවත් ඇමැතිවරයා කීවේය.

ජනාධිපතිවරයා හෙට (20) දිනයේ මේ සංචාරය සඳහා එක්වීමට නියමිත බව කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බවත් මේ සංචාරයේදී දෙපාර්ශ්වය අතර ණය ප්‍රතිව්‍යූහගතකරන වැඩපිළිවෙළ, ආර්ථික, සමාජ, සංස්කෘතික අංශවල ප්‍රගමනයට අදාළ විවිධ සාකච්ඡා රැසක් පැවැත්වෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බෞද්ධ සබඳතා ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාව ගෝලීය ජෛව ඉන්ධන සන්ධානයෙහි ආරම්භක සාමාජිකයකු වීම, ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රීලංකන් ගුවන් මඟීන් සහ ජංගම ගුවන් සෝපාන හසුරුවාලීමේ සේවා සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම ආදි ගිවිසුම් ගණනාවකට මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කොවිඩ් වසංගතය අවස්ථාවේ වගේම මූල්‍ය අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ ඉන්දියාව මෙරටට විශාල ලෙස ආධාර ලබාදුන් අතර ඉදිරියේදී ඉන්දියාව සමඟ සුහදව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම ජනාධිපතිවරයා සිය සංචාරයේදී ඉෂ්ට කරනු ඇති බවත් හෙතෙම කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT