පස්සර පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි තම පියා බැලීමට පැමිණ එහි සිටි පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදී පොලිස් ස්ථානය තුළ යකා නැටූ තරුණයෙක් පස්සර පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර මීරියබැද්ද වැලිවිස්ස පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
මෙම තරුණයා පොලිස් ස්ථානයට පැමිණ සිරමැදිරියේ රඳවා සිටි පියා සමඟ කතාබහක නිරත වන අතරතුර සිරමැදිරිය තුළට ජංගම දුරකතනයක් දී ඇත. එය දුටු පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ.එම්. පියරත්න මහතා විසින් එය වළක්වාලීමට උත්සාහ ගත් අවස්ථාවේදී සැකකරු විසින් කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානාධිපතිවරයාට පහරක් එල්ල කර ඇත. ඒ සමඟම ඔහු පොලිසියේ චෝදනාගාරයේ එල්ලා තිබුණු බිත්ති කණ්ණාඩිය ගලවාගෙන එයින් ද ස්ථානාධිපතිවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
මෙහිදී මෙම සැකකරුව පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්රමයක් පවා දැරීමට සිදුව ඇත. පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීම, සාපරාධී බලහත්කාරකම් පෑම, රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.