ලුණුගල ජාතික පාසලේ සිසුන් දෙදෙනකු අතර පෙරේදා (17) දින ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් සිසුවෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කළ අතර, පහරදීම සිදුකළ බව පැවසෙන අනෙක් සිසුවා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව ලුණුගල පොලිසිය පවසයි.
මෙහිදී තුවාල ලබා ඇත්තේ එම විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවෙකු වේ.
මෙම සිසුන් දෙදෙනා අතර සිදුවූ විහිළුවක් දුරදිග යාමෙන් අනතුරුව දහවල් 11.00ට පමණ දැනට රෝහල්ගත සිසුවා විසින් පහරදීම සිදුකළ බව කියන සිසුවා හට කනට ගසා ඇති බවත් එම අවස්ථාවේදී ඔහු විසින් සිදුකළ තල්ලු කිරීමක් නිසා තුවාල ලත් සිසුවා බිම ඇද වැටීමෙන් පසු පා පහරවල් කිහිපයක් ද එල්ල කර ඇති බවටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
තුවාල ලත් සිසුවාගේ වම් අතේ අස්ථි බිඳී යාමක් සිදුව ඇති අතර, ඔහු මේ වන විට බදුල්ල රෝහලේ වාට්ටු අංක 8හි නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 15 හැවිරිදි සැකකාර සිසුවා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.