Thursday, May 15, 2025
Home » නොච්චියාගම මහජන ආරක්ෂක කමිටුවේ උප සභාපතිගේ නි‍වෙසට ප්‍රහාරයක්

නොච්චියාගම මහජන ආරක්ෂක කමිටුවේ උප සභාපතිගේ නි‍වෙසට ප්‍රහාරයක්

කලින් ව්‍යාපාරික ස්ථානයටත් ගිනි තියලා

by mahesh
July 19, 2023 1:00 am 0 comment

අනුරාධපුර - උපාලි ආනන්ද කරුණාදාස

විෂ මත්ද්‍රව්‍ය හා වෙනත් නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියාවන් මැඬලීමට පොලිසියට සක්‍රිය දායකත්වයක් ලබා දෙමින් සිටින නොච්චියාගම පොලිස් වසමේ මහජන ආරක්ෂක කමිටුවේ උප සභාපතිවරයාගේ නිවසට සංවිධානාත්මක පිරිසක් විසින් ගල්මුල් ප්‍රාහාරයක් එල්ල කර ඇතැයි නොච්චියාගම පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නොච්ච්යාගම පොලිසිය විමර්ශනයක් ද අරඹා තිබේ. නොච්චියාගම මහජන ආරක්ෂක කමිටුවේ උප සභාපති නොච්චියාගම සිහාරගම පදිංචි ව්‍යාපාරික ඩී. එම්. විජේසිරි මහතා මේ සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසියට මූලික පැමිණිල්ලක් සිදු කර අනතුරුව උතුරුමැද දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී තිසේරා සහ උතුරුමැද දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන යන මහත්වරුන්ට ද පැමිණිලි කොට තිබේ.

එම පැමිණිලි මඟින් ව්‍යාපාරික ඩී. එම්. විජේසිරි මහතා පවසා ඇත්තේ කිසිදු දිනයක මත්පැන් හෝ විෂ මත්ද්‍රව්‍ය මෙන්ම දුම් පානය නොකරන තමා නොච්චියාගම පොලිස් වසමේ මහජන ආරක්ෂක කමිටුවේ උප සභාපතිවරයා ලෙස මත් ජාවාරම් මැඬලීමට පොලිසියට ඍජු දායකත්වයක් ලබා දෙමින් සිටින බවයි.

එම හේතුව මත උරණ වී සිටින මත්ද්‍රව්‍ය හා වෙනත් ජාවාරම්වලට සම්බන්ධ කණ්ඩායම් තමාට විවිධ හිරිහැර කරමින් සිටින බවද ව්‍යාපාරික විජේසිරි මහතා සිය පැමිණිලි මඟින් පවසා තිබේ.

වරක් මෙම ජාවාරම්කරුවන් තමාගේ ව්‍යාපාරික ස්ථානයට ගිනි තබා විනාශ කළ බවත් ඒ සම්බන්ධයෙන් තමා සහ තම මව වෙන් වෙන් වශයෙන් නොච්චියාගම පොලිසියට පැමිණිලි කර ඇති බවත් විජේසිරි මහතා උතුරුමැද පොලිස් ප්‍රධානීන්ට කර ඇති පැමිණිලිවල තවදුටරත් සඳහන් වෙයි.

මෙලෙස තමන්ට විවිධ හිරිහැර සිදු කරමින් සිටින පිරිස් අතර, විවිධ චෝදනාවන්ට අධිකරණය හමුවේ දඬුවම් ලැබූවන් ද සිටින බව ස්වකීය පැමිණිලි මඟින් උතුරුමැද පොලිස් ප්‍රධානීන්ට දැනුම් දී ඇති විජේසිරි මහතා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර නොච්චියාගම මහජන ආරක්ෂක කමිටුවේ කාර්යයන් මෙන්ම තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කිසිදු බියකින් සහ බාධාවකින් තොරව කර ගෙන යාමට අවැසි පරිසරය සහ ආරක්ෂාව සලසා දෙන ලෙස ද ඉල්ලා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT