Home » සමරිසි ක්‍රියාවන්ට එන්න කියා නිරුවත් කර පහර දී වීඩියෝ කරලා

සමරිසි ක්‍රියාවන්ට එන්න කියා නිරුවත් කර පහර දී වීඩියෝ කරලා

බිය ගන්වා කප්පම් ගත් 4ක් කොටු

by mahesh
July 19, 2023 1:00 am 0 comment

හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළ කර සමලිංගික සේවනය සඳහා කැමති පුද්ගලයින් ගෙන්වා ගෙන ඔවුන් නිරුවත් කර පහර දී විඩියෝගත කර බිය ගන්වා ලක්ෂ ගණනින් මුදල් උපයන පස්දෙනෙකුගෙන් යුත් කල්ලියක සාමාජිකයින් 04 දෙනෙකු 17දා ගල්කිස්ස ප්‍රදේශයේදී එලෙස උපයාගත් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

ගල්කිස්ස, බොරුපන, සොයිසාපුර ආදී අවට පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් අවුරුදු 20ත් 24ත් අතර වයස්වල පසුවන වැදගත් පවුල් පසුබිමක් ඇති හොඳින් අධ්‍යාපනය ලද තරුණයින් බව පොලිසිය පවසයි.

මෙම කණ්ඩායමේ ප්‍රධානියා 22 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස ප්‍රදේශයේ අයෙකු වන බවත් දැනට පිළියන්දල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසයි.

පාණදුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු මෙලෙස රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා ගත් බවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය හරහා 16 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ඡායාරූප පෙන්වා ඔහු සමඟ සමලිංගික සේවනයේ යෙදීමට කැමති අය සම්බන්ධ කර ගෙන ගෙන්වා ගැනීම ප්‍රධානියා විසින් සිදු කර තිබෙන බව අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට අයත් ගල්කිස්ස, රාහුල පාරේ නිවෙස සතියේ දිනවල වැඩිහිටියන් රැකියාවට ගිය අවස්ථාවේ මෙම ක්‍රියාවේ යෙදීම සඳහා ලබා දී ඇති අතර, ඒ සඳහා ඔහුට රුපියල් විසිදාහක මුදලක් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.

වට්ස්ඇප් හරහා සම්බන්ධ කර ගන්නා පුද්ගලයන් මෙම නිවෙසට ගෙන්වා මෙම පිරිමි ළමයා සමඟ සුළු වේලාවක් සිටීමට ඉඩ හැර එම පුද්ගලයා නිරුවත් කර පහර දී විවිධ වධහිංසා පමුණුවා විඩියෝගත කර ඒවා සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කරන බවට බිය ගන්වා එසේ නොකිරීමට රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

වෛද්‍යවරු, හමුදාවේ ඉහළ නිලධාරින් ඇතුළු වැදගත් රැකියාවල නියුතු පුද්ගලයින් පවා මෙම කල්ලියේ වංචාවට හසුවී ලක්ෂ 02 සිට 7 1/ 2 දක්වා මුදල් කල්ලියේ ප්‍රධානියාගේ ගිණුමට බැර කර ඇති බව අනාවරණය වී තිබේ.

පවුල් ප්‍රශ්න හා සමාජයට මුහුණ දීමට ඇති ලජ්ජාව නිසා කිසිවෙකුත් තමන්ට සිදු වූ අලාභය ගැන පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර නොමැති අතර, මෙම කල්ලියට හසු වූ පුද්ගලයින් සිටී නම් ඉදිරිපත් වන ලෙසත් ඉදිරියේදී මෙවැනි වංචනිකයින්ට හසු නොවන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙනිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරාගේ මඟ පෙන්වීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකොන් ඇතුළු නිලධාරීන් විමර්ශන සිදු කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT