ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලක ඩබ්ලිව්. ඩී. අයිලප්පෙරුම මහතාගේ අභාවයේ පළමු සංවත්සරය අද (20) දිනය යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
විජේපාල ඩී. අයිලප්පෙරුම මහතා මම දැන අඳුනන්නේ දශක හතරකට පෙර සිට මගේ සේවා කාලය පුරා ආයතන ප්‍රධානියා හෝ ඉහළින්ම සිටි විධායක නිලධාරියා ලෙස සහ පසු කාලයේ සමීප ආශ්‍රයෙන් හා විවිධ අවස්ථාවලදී එතුමාගෙන් ලබා ගත් මාර්ගෝපදේශයන් හරහාය.
අයිලප්පෙරුම මහතා ගැන මතකයේ මගේ හිතේ පහළ වන මුල්ම චිත්‍රය, ආයතනයේ කොරිඩෝරයේ එතුමා සක්මන් කළ ආකාරයයි. එතුළින් එතුමාගේ සන්සුන්භාවය පිළිබඳ හැඟීමක් ඇති කළ අතර, මුහුණේ පෙනුමෙන් පා ගමනේ අරමුණ කාර්යාලයේ වැඩ කරන වාතාවරණය නිරීක්ෂණය කිරීමට බව හැඟුණා. මුහුණේ මඳ සිනහවෙන් අඩුම තරමින් උද්‍යාන තණතිල්ලේ පිනි බින්දු මත එල්ලෙන උදෑසන හිරු දර්ශනයත් ඔහුට නිරහංකාර සතුටක් වූ බවත් මට හිතුණා. ඔහු අධ්‍යක්ෂ ජනරාල්වරයා බව මගේ අවධානය යොමු කළේ කාර්යාල සගයෙක්. අයිලප්පෙරුම මහත්තයා ප්‍රසන්න ස්වභාවයකින් යුක්ත සියුම් පුද්ගලයෙක් වෙන්න ඕනෑ කියා මට වැටහුණා.
හොරණ තක්ෂිලාවේ පාසල් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලබා ගත් අයිලප්පෙරුම මහතා එවකට අලුතින් ප්‍රතිස්ථාපිත කරන ලද ලංකා පරිපාලන සේවයේ මූලාරම්භක කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස පිවිසීමට අවස්ථාව ලබා ගත්තා. ඒ වරම ලැබුණේ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ්‍රීමතාණන් විසින් දේශයේ සමස්ත ශිෂ්‍ය පරපුර වෙනුවෙන් ලබාදුන් නිදහස් අධ්‍යාපනයෙන් බව එතුමා අවස්ථා කීපයකදී ස්තූති පූර්වකව සහ ගෞරව හැඟීමකින් සඳහන් කිරීමට යෙදුණා.
එතුමාත් සමඟ මා සේවය ආරම්භ කරපු 1980 දශකය, දේශපාලනමය වශයෙනුත්, සමාජ සහ ආර්ථික වශයෙනුත් සංකීර්ණ වූ පරිවර්තන යුගයක් ලෙස නූතන ඉතිහාසඥයන්ගේ අවධානයට ලක් වෙමින් පවතින බව සමාජ කතිකාවත් තුළින් දකිනවා. රාජ්‍ය සේවය අධිරාජ්‍යයේ පරිපාලන ආකෘති අතහැර නිදහස් දේශයක සේවය සඳහා හැඩගැස්වීමට ලංකා පරිපාලන සේවය ප්‍රතිස්ථාපිත වී අවුරුදු දාහතක් ගෙවී ගොස් තිබුණා. මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවය පිළිබඳ මූලධර්ම පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමට දායක වී එවැනි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ගැලපෙන සුදුසු උපාය මාර්ග තෝරා බේරා ගෙන අනුගමනය කරමින් ඒකාබද්ධ හා ඵලදායී ලෙස ක්‍රියා කිරීමට සියලු සංවිධානයන් සහ පාර්ශ්වකරුවන්ට අනුබලය සහ මඟපෙන්වීම අයිලප්පෙරුම මහතා දුන් ආකාරය අපට අත්විඳින්න අවස්ථාව ලැබුණා.
රාජ්‍ය සේවා ජනතාවට සමීපව පවත්වාගෙන යෑමේ ප්‍රතිපත්ති බලගැන්වීමෙහිලා දිවයින පුරා විහිදුණු දිළිඳු නිවාස වැඩසටහන් සහ පුරවැසි සහභාගිත්වයේ ප්‍රමුඛත්වය ඉස්මතු කර සඳහන් කරමින් හඳුන්වා දුන් ග්‍රාමෝදය මණ්ඩල අරමුදල පනත සහ ප්‍රාදේශීය සභා පනත වැනි අණපනත් හරහා ක්‍රියාකාරකම් අතිවිශාල සම්භාරයක් සිදු කෙරුණේ අයිලප්පෙරුම මහතා ප්‍රධාන පුරුකක් ලෙස කටයුතු කරපු නිවාස සහ පළාත් පාලන අමාත්‍යාංශයේ යන්ත්‍රණයෙන්. එම අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ ක්‍රියාකාරී නිලධාරින් ලෙස අභියෝගාත්මක සේවා වගකීම් රාශියක් අපට පැවරී තිබුණා. ඒ වකවානුවේ දිවයින පුරා ග්‍රාමීය ප්‍රදේශ මෙන්ම නාගරිකයේ පැල්පත් සහ මුඩුක්කු ජානාවාසත් ආවරණය කරමින් දිළිඳු නිවාස වැඩසටහන් දිවයින පුරා පැතිරී ව්‍යාප්ත වුණා. පසුකාලීනව ශ්‍රී ලංකා පරිපාලන සේවය ලෙස හැඳින් වූ ලංකා පරිපාලන සේවය වසර හැටක කාලයක් තුළ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයෙන් පවතිනවා. ඒ වකවානුවේ වැඩි කාලයක් රටේ තිස් වසරක යුද්ධයක් ඇතුළුව නිරන්තර සමාජ කැලඹීම් පැවතුණු අතර, එකිනෙකට ව්‍යුහාත්මක හාත්පසින්ම වෙනස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යටතේ පාලන කාලපරිච්ඡේද තුනක් ද පැවතුණා. එවැනි වෙනස්කම් ජනතාව අතරට නිර්මාණශීලිව සහ අවශ්‍ය කුසලතා උපයෝගීව මෙන්ම රාජ්‍ය පරිපාලනයේ එකමුතුකමත් සහ ඒකාග්‍රතාවයත් ආරක්ෂා කර ගනිමින් ගෙන යෑමේ කාර්ය ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ ආරම්භක පරම්පරාවේ දිවංගත අයිලප්පෙරුම මහතා සහ ඔහුගේ සමකාලීනයන් විසින් සිදු කරදීම අනාගත ඉතිහාසඥයන්ගේ ප්‍රශංසනීය ඇගයීමට ලක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
අයිලප්පෙරුම මහතාට නිවන් සුව!
ප්‍රසන්න ගුණවර්ධන
හිටපු කොළඹ නගරාධිපති