ස්වභාවධර්මයට ආදරය කරන්නන් සඳහා පාරිසරික සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කරන ලද දඹුල්ල ‘පොපම් ආබරේටම්’ හරිත වන උද්‍යානය විවෘත කිරීම අද (20) සවස 3.00ට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හා පරිසර අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.
ජාතික මූලික අධ්‍යයන ආයතනයට අයත් පොපම් ආබරේටම් දඹුල්ල සිට කණ්ඩලම මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටා ඇත.
අධ්‍යාපනික අරමුණු හා පාරිසරික පර්යේෂණ සඳහා බොහෝ දේශීය සහ විදේශීය පර්යේෂකයන් මෙම වන උයනට පැමිණේ. උණහපුළු, කබල්ලෑවන් වැනි අද්විතීය සත්ත්ව විශේෂ මෙන්ම වියළි කලාපීය ශාක විශේෂ 300කට අධික සංඛ්‍යාවකින් සමන්විත පොහොසත් වෘක්ෂ ලතා නිසා එය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ද වේ.
මෙම වන උයන කණ්ඩලම දඹුල්ල මාර්ගයේ කණ්ඩලම හෝටලය සහ දඹුල්ල නගරය අතර පිහිටා ඇත. විදේශීය සංචාරකයන්ට ඉතා සාමකාමී සිසිල් පරිසරයක සංචාරය කිරීමට සහ දේශීය සත්ත්ව හා ශාක විශේෂ දැකබලා ගැනීමට ඇති කදිම ස්ථානයකි.
මෙම වන උයන විවිධ සතුන් සහ පක්ෂීන් සඳහා නිවහනක් ලෙස ක්‍රියා කරයි. වලි කුකුළා, අළු කෑදැත්තා, අළු දෙමළිච්චා, වත නිල් මල් කොහා, බිඟුහරයන්, සුදු රෙදි හොරා, උණහපුළුවා, කබල්ලෑවා වැනි විශේෂිත සත්ත්ව විශේෂ මෙහිදී දැක ගත හැකිය.
එමෙන්ම මෙය විවිධ සමනලුන් සහ බත්කූරු විශේෂ සඳහා ද ප්‍රසිද්ධිය. වවුලන් ඇතුළු ක්ෂීරපායී විශේෂ 25ක්, සමහර සංක්‍රමණිකයන් ඇතුළු පක්ෂි විශේෂ 83ක් සමනල විශේෂ 77ක් සහ බත්කූරන් විශේෂ 12ක් මෙම වන උයන තුළ වාසය කරන බවට වාර්තා වී ඇත. එසේම හූනන් වර්ග නැරඹීම සඳහා ද සංචාරකයින් අතර ජනප්‍රිය ගමනාන්තයකි.
රක්ෂණ ශ්‍රියන්ත