ගව සොරකම් සම්බන්ධයෙන් ඇති වුණු ආරවුලක් දුරදිග ගොස් අම්බලන්තොට කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ නිවෙසක් අසලට පෙරේදා (18) මැදියම් රෑ පැමිණ නිවෙසේ සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර පලා ගිය සැකකරුවන්ගෙන් දෙදෙෙනකුව එම ඝාතනයෙන් පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත්ව ඇත.
මෙසේ ඝාතනය වී ඇත්තේ අමරකෝන් කංකානම්ගේ සිරිපාල (62) නම් වූ දෙදරු පියෙකි.
මෙසේ ඝාතනය වූ පුද්ගලයාත් ඔහුගේ පුතාත් ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගව සොරුන් බව පොලිසිය කියයි. මෙම ඝාතනය සිදුව ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ දියණියගේ නිවෙසේදීය. මෙම පුද්ගලයාත් ඔහුගේ පුතාත් කාලයක් තිස්සේ නවාතැන්ගෙන සිටින්නේ මෙම නිවෙසේ බව පොලිසිය කියයි. ඝාතනය වූ පුද්ගලයාගේ දියණියගේ දියණිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින අයකු බව පොලිසිය කියයි. ඇය මැදියම් රැය වනතුරුම පාඩම් කටයුතුවල නිරතව සිටින බව සඳහන්ය.
මෙම ප්‍රදේශයට වන අලි නිතර පැමිණෙන බැවින් ගෙවත්ත විදුලි ආලෝක පහන් දල්වා ආලෝකවත් කර තිබී ඇත. ගෙවත්තට ඇතුළු වූ තිදෙනකු ගිනි අවිය අමෝරාගෙන නිවෙස දෙසට පැමිණෙන අයුරු එම විදුලි ආලෝකය නිසා නිවෙසේ කාමරයක පාඩම් කරමින් සිටි දියණිය දැක තිබේ. ඔවුන් තිදෙනා අඩවල් කර තිබුණු ජනේලය අසලට පැමිණ ඒ තුළින් ගිනි අවිය දිගු කරනවාත් සමඟ දියණිය බියට පත්ව ‘වෙඩි තියන්න එපා’ යැයි කෑගසාගෙන කාමරයෙන් පිටතට දිවගොස් ඇති බව ද පොලිසිය කියයි.
මේ අවස්ථාවේදී මෙම දියණියගේ සීයා වූ ඝාතනය වූ පුද්ගලයා රැඳී සිට ඇත්තේ සාලයේය. ඔහු එකවරම විදුලි පන්දමත් රැගෙන නිවෙසේ දොර විවෘත කරනවාත් සමඟ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිසිය කියයි. එම වෙඩිල්ල වැදුණු එම පුද්ගලයා එතැනම මියගොස් ඇති බවත් පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම කළ අය කවුරුන්දැයි පැහැදිලිවම හඳුනා ගැනීමට දියණිය සමත්ව ඇත. සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙෙනකු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී ඇත්තේ දියණියගේ ප්‍රකාශ මත යැයි පොලිසිය කියයි. තවත් එක් සැකකරුවකු පලා ගොස් සිටින බවත් ඔහුව ගිනි අවිය ද සමඟ අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් පොලිසිය කියයි.
විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ පුතාව ඉලක්ක කරගෙන මෙම පිරිස එම නිවෙසට පැමිණ ඇති බවය.
ගයාන් කුමාර වීරසිංහ, ලුණම සමූහ – සනත් ගමගේ,
සූරියවැව විශේෂ – නුවන් ජයසේකර