Home » මියගිය දොස්තරගේ නමින් කූට ලේඛන හදා නුවර පාසලට දරුවා දැමූ සොයුරා ගැන පරීක්ෂණයක්

මියගිය දොස්තරගේ නමින් කූට ලේඛන හදා නුවර පාසලට දරුවා දැමූ සොයුරා ගැන පරීක්ෂණයක්

by sachintha
July 20, 2023 1:00 am 0 comment

වෛද්‍යවර‍ෙයකු ලෙස සේවය කරමින් සිටියදී මියගිය මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක ආදි සිසු‍ෙවකුගේ සහෝදර‍ෙයකු කූට ලේඛන සකස් කර මියගිය සහෝදරයාගේ නමින් ඔහුගේ දරුවා විදුහලේ පළමු ශ්‍රේණියට ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.

මියගිය වෛද්‍යවරයාගේ බිරිය විසින් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී මධ්‍යම පළාත් සභාවට අයත් පාසලක අධ්‍යාපනය ලැබ තිබෙන වෛද්‍යවරයාගේ සහෝදරයා ආදි සිසු පදනම මත අදාළ පාසලට තම දරුවා ඇතුළු කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බාලක පාසලේ විදුහල්පතිවරයා විසින් ද පොලිසියට පැමිණිල්ලක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් කිහිපදෙ‍ෙනකුගෙන් ප්‍රකාශ ගත් බව පොලිසිය පවසයි. සිද්ධිය හෙළිදරව් වීමත් සමඟ අදාළ පුද්ගලයා තමන්ගේ පුතා පාසලෙන් ඉවත් කරගෙන ඇතැයි ද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. උවින්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT