Home » එප්පාවල පොස්පේට් සමාගමේ සේවකයකුගෙන් පහර කෑ විධායක නිලධාරියාගේ වැඩ තහනම්

එප්පාවල පොස්පේට් සමාගමේ සේවකයකුගෙන් පහර කෑ විධායක නිලධාරියාගේ වැඩ තහනම්

by sachintha
July 20, 2023 1:00 am 0 comment

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා එප්පාවල රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි අවස්ථාවේදී එහි සේවකයකුගේ පහර කෑමට ලක් වූ විධායක නිලධාරියාගේ සේවය තහනම් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත. මෙම විධායක නිලධාරියාගේ සේවය අත්හිටුවන ලෙස රාජ්‍ය ඇමැතිවරයා එම සංචාරයේදී සමාගමේ සභාපතිවරියට දැනුම් දී ඇති අතර ඒ අනුව මේ පියවර ගෙන ඇත.

ඒ අනුව පෙරේදා (18) දින සිට සේවය තහනම් කළ බවට සැපයුම් නිලධාරී එස්.ඒ. අබේසිරි මහතාට ලංකා රාජ්‍ය පොස්පේට් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිපියක් මඟින් දැනුම් දී තිබේ. වැටුප් රහිතව මෙම තහනම පනවා ඇති අතර ඔහු භාරයේ ඇති ආයතනය සතු සියලු ලියකියවිලි, උපකරණ, බඩු බාහිරාදිය ගණකාධිකාරිවරයා හෝ නම් කරනු ලබන අයකුට විධිමත් ලෙස භාර දී සේවා ස්ථානයෙන් ඉවත් විය යුතු බව ද එම ලිපිය මඟින් දැනුම් දී ඇත. වැඩ තහනම් කර ඇති කාලය තුළදී තම විධිමත් අවසරයකින් තොරව ආයතන භූමියට ඇතුළු වීමට අවසර නැති බව ද සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ නිලධාරියා වෙත යැවූ ලිපියේ සඳහන් කර ඇත. ලංකා රාජ්‍ය පොස්පේට් ආයතනයේ ඇඹරුම් යන්ත්‍රක් සඳහා අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමේදී අදාළ සැපයුම් නිලධාරිවරයා අවශ්‍ය අමතර කොටස් වෙනුවට වෙනත් වර්ගයේ එකක් ගෙන්වා ඇති බවත් එය ගෙන්වා මාස ගණනක් ගත වී ඇතත් එය තවමත් ආපසු යවා හෝ මාරු කර අවශ්‍ය අමතර කොටස ගෙන්වා නැති බවත් සේවකයෝ රාජ්‍ය ඇමැතිවරයා සමාගමට පැමිණි අවස්ථාවේදී චෝදනා කළහ. එමඟින් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බව ද සේවකයෝ චෝදනා කළහ.

අදාළ අමතර කොටස ඇණවුම් කළ සැපයුම් නිලධාරියා එම ස්ථානයට ගෙන්වන ලෙස එහිදී අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඒ අනුව පැමිණි සැපයුම් නිලධාරියාට එක් සේවකයකු විසින් එක්වරම කමිසයෙන් ඇද පහර දීමක් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT