Saturday, May 3, 2025
Home » ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර රක්ෂණකරුවන් අතර සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර රක්ෂණකරුවන් අතර සාකච්ඡා සාර්ථකයි

by chanaka
July 20, 2023 1:26 pm 0 comment

නීතිපතිවරයා ප්‍රමුඛ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිස සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුගේ රක්ෂණකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර සාර්ථක සාකච්ඡා වටයක් පසුගිය ජූලි 18 සහ 19 යන දෙදින සිංගප්පූරුවේ දී පැවැත්විණි.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගෙන මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය සිංගප්පූරුවේ දී ගොනු කළ නඩුවෙන් අනතුරුව තම සේවාදායකයා වෙනුවෙන් නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.

අදාළ සිදුවීම හා එහි ප්‍රතිවිපාකවල තීරණාත්මක පැතිකඩ පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සමුද්‍රීය පරිසර අධිකාරිය සහ ධීවර අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන හිමිකම් තක්සේරුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයට ලක් වූ අතර මෙම හිමිකම් තක්සේරුව කඩිනමින් සිදු කරන බවට නෞකාවේ හිමිකරුගේ රක්‍ෂණකරුවන් ශ්‍රී ලංකා රජයට සහතික විය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දැනට සිදු කෙරෙන සුන්බුන් ඉවත් කිරීමේ සහ සුන්බුන් ප්‍රතිසාධන කටයුතු අවසන් කිරීමේ කඩිනම් අවශ්‍යතාව ද නීතිපති සංජය රාජරත්නම් මහතා මෙහිදී අවධාරණය කළ අතර ඒ පිළිබඳව ද අනෙක් පාර්ශ්වය වෙතින් ධනාත්මක ප්‍රතිචාරයක් පළ කෙරිණි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකා සාගර පරිසරයට සිදුවූ හානියට වන්දි ලබා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට නෞකාවේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයන්ගේ යහපත් ප්‍රතිචාර හිමිවීම විශේෂත්වයක් වන අතර නුදුරු දිනකදී ශ්‍රී ලංකා රජය සමඟ මේ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ද ඔවුන්ගේ එකඟතාව පළ විය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් සිංගප්පූරුවේ ආරම්භ කර ඇති නීතිමය ක්‍රියාමාර්ගවලට මෙම සාකච්ඡාවලින් කිසිදු බලපෑමක් එල්ල නොවන බවට ද ඔවුන් සහතික විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT