ඓතිහාසික ජල්තර ඇඹුල්ගම ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සහ ගිනිමඩු පූජෝත්සවය අද (20) දින කප් සිටුවීමෙන් ආරම්භ වී අගෝස්තු මස 06 වන දින දේව දානය ලබා දීමෙන් පසු අවසන් කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇතැයි එම දේවාලයේ ප්‍රධාන කපුතැන වන ටී. ඩී. පියසේන මහතා පැවසීය.
වසර දෙසීයකට වඩා පැරණි ඉතිහාසයක් සහිත මෙම දැඩිමුණ්ඩ දේවාලයේ පෙරහර මංගල්‍යය ආරම්භ කර ඇත්තේ වර්තමාන ප්‍රධාන කපුතැනගේ මීමුත්තා වන නෙත්ති කපු මහතා විසිනි. ඉන් අනතුරුව පිළිවෙළින් සිමන් කපු මහතා, හෙන්රික් කපු මහතා ඉන්පසුව තමන්ගේ පියාණන් වන ඇසුම් කපු මහතා විසින් මෙම පෙරහර මංගල්‍යය පවත්වා ඇති බවත් වර්ෂ 1971 න් පසු තමන් විසින් භාරගත් එම වගකීම මේ දක්වා නොකඩවා කරගෙන පැමිණෙන බවද පියසේන කපු මහතා පැවසීය.
මෙම දේවාලයේ පෞරාණික දැවයෙන් නිම කළ දෙමහල් දේවාලයක් පැවැති බවත් එය සංරක්ෂණය කළ නොහැකි වීමෙන් දිරාපත්ව කඩාවැටුණු බවත් මේ වන විට එම ස්ථානයේම ඉදිකළ නව දේවාලයක තම පුද පූජා කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.
මෙම වර්ෂයේ පෙරහර මංගල්‍යය හෙට (20) දින කප් සිටුවීමෙන් ආරම්භ කර 22 දින මල් පෙරහර 23 දින කුඹල් පෙරහර 24 දින පාවඩ පිට පෙරහර 25 දින පළමු මල් පෙරහර 26 දින දෙවන මල් පෙරහර පවත්වා 29 දින රාත්‍රි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන නර්තන කණ්ඩායම් 20කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් අලි ඇතුන් සහ ගිනිකෙළි හරඹ සමඟින් රන්දෝලි මහ පෙරහර පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
එදින ඓතිහාසික ධාතුන් වහන්සේලා පළමුව වඩම්වා කතරගම විෂ්ණු දැඩිමුණ්ඩ දේවාභරණ සහ පත්තිනි සළුව වැඩම කිරීමෙන් පසු දේවාලය වටා වීදි පෙරහර පවත්වා ඉන් පසු ප්‍රධාන මාර්ගයට පිවිස ඇඹුල්ගම මංසන්ධිය දක්වා ගමන් කොට කන්ද පාර හරහා ජල්තර මංසන්ධිය දක්වා පැමිණ දේවාල භුමිය දක්වා ගමන් කිරීමෙන් පසු පෙරහර මංගල්‍යය අවසන් වේ. පසු දින එනම්, 30 වන දින කැලණි ගඟේ දිය කැපීමට නියමිත වේ.
ඉන් අනතුරුව අගෝස්තු මස 05 වන දින දිවයිනේ දක්ෂතම නර්තන ශිල්පීන්ගේ සහ බෙර වාදන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් එදින සිට පසුදා අලුයම දක්වා මහා ගිනිමඩු පූජෝත්සවය පැවැත්වීමටත් ඊට පසු දින (06) වනදා දේව දානය ලබා දීමටත් සියලු කටයුතු සැලසුම් කර ඇතැයි ද ප්‍රධාන කපුතැන වන ටී. ඩී. පියසේන මහතා පැවසීය.
මීගොඩ – බී. කේ. කත්‍රිආරච්චි