Home » අරගලයෙන් රටේ ආර්ථිකයට ආපසු හරවන්න බැරි තරමේ හානියක් කළා

අරගලයෙන් රටේ ආර්ථිකයට ආපසු හරවන්න බැරි තරමේ හානියක් කළා

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර

by mahesh
July 21, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

– සමාජ මාධ්‍ය පදනම් කරගෙන දේශපාලන තීන්දු ගත්තොත් රටකට ඉදිරි ගමනක් නැහැ

සමාජ මාධ්‍ය මඟින් වාර්තා කරන තොරතුරු පදනම් කරගෙන රටක දේශපාලන තීන්දු තීරණ ගන්නේ නම් ඒ රටට ඉදිරි ගමනක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

සෞඛ්‍ය වෛද්‍ය සේවයේ ඇති ගැටලු බොහෝමයක් දීර්ඝ කාලයක සිට පැමිණ එකට එකතු වී අද වන විට උච්ච ස්ථානයකට පැමිණ තිබෙන බවත් අවාසනාවන්ත තත්ත්වය නම් නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන බවට පොරොන්දු වන පිරිස ඒවා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි සතුටු වෙනවා දීර්ඝ කාලයක් තිස්සේ විවිධ මට්ටම්වලින් සාකච්ඡාවට ගැනුණු දූෂණය වංචාව පිටුදැකීමට ස්ථිර වැඩපිළිවෙළකට අපට දායකවීමට අවස්ථාව ලැබීම ගැන. ඒ නිසා දූෂණ විරෝධී පනත ඊයේ (20) පාර්ලිමේන්තුවේ සංශෝධන 158කට යටත්ව ඡන්දයක් පවත්වන්නේ නැතිව සියලු දෙනාගේ එකඟතාවයෙන් සම්මත කරගත්තා.

අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට මුල ඉඳලා මේ සම්බන්ධයෙන් අපේ අදහස්, අපේ මතය ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළා. මේ ඉදිරිපත් කළ සංශෝධනවලින් අතිබහුතරයක් ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ අදහස්, යෝජනා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය දූෂණය වංචාව පිටුදැකීම වෙනුවෙන් ඉදිරිපත් වුණා. ඒ නිසා අපි අධිකරණ ඇමැතිට විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනෑ. එතුමා සෘජුව මේ දූෂණ විරෝධී පනත වෙනුවෙන් පෙනී සිටියා. මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කළා. මේක තමයි රට ඉල්ලුවේ. ඒ නිසා ජනතා මතයට හැමදාම ඇහුම් කන්දෙන දේශපාලන පක්ෂයක් විදිහට අපි ඊයේ(20) දවස පුරාම ඉතාම ඕනෑකමින් මේ සංවාදයට සහභාගි වුණා කාරක සභා අවස්ථා‍වේදී. බැරි වෙලාවත් ඡන්දයක් ඉල්ලුවා නම් ඒකට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමේ වගකීම අපි අවබෝධ කරගෙන තිබුණා.

අවාසනාවකට මෙය IMF එක නිසා කරන එකක් කියා මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. ඒක නිවැරදි කරන්න ඕනෑ. මේ පනත මඟින් ජනාධිපතිවරයාගේ ඉඳලා මේ රටේ තනතුරු දරන හැම කෙනෙක්ම තමන්ගේ වත්කම් සොයාගත් ආකාරය පිළිබඳව මහජනයා ඉස්සරහා කරුණු කියන්න සිදු වෙනවා. සිංගප්පූරුව දියුණු වුණෙත් මේ ආකාරයට දූෂණ විරෝධී පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා. මම හිතනවා අනාගතයේ අපේ රටේ බිහිවන රාජ්‍ය නායකයෝ සිංගප්පූරුවේ ලීක්වැන්යූ දුප්පත් සිංගප්පූරුව අද තිබ්බ තැනට ගේන්න දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක කළ ආකාරයට ක්‍රියාත්මක කරයි කියලා.

ඒ නිසා කවදාවත් රැකියාවක් කරපු නැති, කවදාවත් ජීවන මාර්ගයක් හඳුනා ගත්තේ නැති එහෙත් විශාල ධනස්කන්දයක් දේශපාලන ව්‍යාපාරවලට වියදම් කරන සමහර දේශපාලන පක්ෂ සහ කල්ලි කණ්ඩායම්වලට අනාගතයේ දී සිදු වෙයි කොහෙන්ද මේ තරම් විශාල මුදලක් රටේ පෝස්ටර් අලවන්නත්, තමන්ගේ නායකයන්ගේ රූපය ප්‍රදර්ශනය කරන්නත්, ඒවා පිළිබඳව මිනිස්සු අනාගතයේ දී කරුණු විමසයි. ඒ නිසා මේ ජයග්‍රහණය මේ රටේ පොදු ජනතාවගේ ජයග්‍රහණයක් විදිහට අපි දකිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙයට දායකත්වය ලබාදෙන්න පුළුවන්කම ලැබුණු එක ගැන අපි සතුටු වෙනවා. සමාජ මාධ්‍ය වාර්තා කරන ඇතැම් තොරතුරු පදනම් කරගෙන ආණ්ඩුවට බලපෑම් කරනවා යම් යම් දේශපාලන තීන්දු තීරණ ගන්න. ඉතිහාසයේ අපි ඕනෑ තරම් පාඩම් ඉගෙනගෙන තිබෙනවා, සමාජ මාධ්‍ය ඇසුරු කරලා දේශපාලන තීන්දු තීරණ අරගෙන රාජ්‍යය අස්ථාවරත්වයකට පත්කරන්න උදවු උපකාර වෙච්ච අවස්ථා.

ඒ නිසා අපි පක්ෂයක් විදිහට යම් ස්ථාවරයක ඉන්නවා මේ සමාජ මාධ්‍ය වාර්තා කරන තොරතුරු පදනම් කරගෙන මේ දේශපාලන තීන්දු ගත යුතු නැහැ. අපට සත්‍ය යටපත් කරන්න පුළුවන්කමකුත් නැහැ. අසත්‍ය ඉස්මතු කරන්න පුළුවන්කමකුත් නැහැ. මීට අවුරුද්දකට පෙර අසත්‍ය මතු කර සත්‍ය යටපත් කරගෙන ජනතාව පෙළගැස්සිලා මේ රටේ රාජ්‍ය බිඳ වැට්ටීමේ කුමන්ත්‍රණයක් ක්‍රයාත්මක වුණා. ඒකට ඒ පිරිස නමක් දැම්මා අරගලය කියලා. ඒකට සම්බන්ධ වෙච්ච පිරිස් හට කිව්වා අරගලකරුවෝ කියලා.

ජනාධිපති කාර්යාලය අල්ල ගත්තා, ජනාධිපති මන්දිරය අල්ල ගත්තා. අගමැති කාර්යාලය, අගමැති නිල නිවස අල්ල ගත්තා. අවසානයේ පාර්ලිමේන්තුවත් අල්ලගන්න ගියා. ඒ නිසා අරගලයට සම්බන්ධ වුණු පිරිස තේරුම් ගන්න අවශ්‍ය එක කාරණයක් තමයි අරගලකරුවෝ අරගලය විසින් මේ රටේ ආර්ථිකයට ආපසු හරවන්න බැරි තරමේ හානියක් කළා. මේක සමහර පිරිස් තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා අපේ ආර්ථිකය බිඳවැටුණා.

අපේ සමාජ, සංස්කෘතික වටිනාකම් මුළුමනින්ම ගිලිහිලා ගියා. අද ජනතාව නීතිය අතට අරගෙන කටයුතු කරන තැනට, නීතියට බය නැති වෙන තැනකට අපේ රට පත්වෙලා තිබෙනවා. ගුරුවරයෙක්, දෙමාපියෙක් දරුවෙක්ට අවවාදයක් දෙන්න බැහැ. ඉතාම අවාසනාවන්ත සිද්ධි ගණනාවක්ම පහුගිය අවුරුද්දක කාලසීමාවක් තුළ අපි සමාජයක් විදිහට අත්දකිනවා. ඒ නිසා මම නැවත අවධාරණය කරනවා සමාජ මාධ්‍ය මඟින් වාර්තා කරන තොරතුරු පදනම් කරගෙන රටක දේශපාලන තීන්දු තීරණ ගත්තොත් ඒ රටට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා අපි ප්‍රවේසමෙන් සමාජ මාධ්‍ය වාර්තා කරන තොරතුරු පරිහරණය කළ යුතුයි කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට කියනවා. මම අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සමඟ දීර්ඝ සාකච්ඡාවක් කළා. මේ රටේ අද අපි අත්විඳින සෞඛ්‍ය වෛද්‍ය සේවයේ ඇති ගැටලු බොහෝමයක් දීර්ඝ කාලයක් තිස්සේ එකට එකතු වෙලා අද උච්ච ස්ථානයකට ඇවිත් තිබෙනවා.

ඒ නිසා මෙයා යවලා අරයා ගෙනාවා කියලා ප්‍රශ්න විසඳගන්න පුළුවන්කමක් තිබෙනවා කියා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒකට හේතුව අපි කැමති වුණත් අකමැති වුණත් අපි විසඳා ගත යුතුව තිබුණු ගැටලු බොහෝමයකට අපට ඒ කාලසීමාවල ප්‍රමාණවත් උත්තර හොයාගන්න බැරි වුණා. මේ රටේ නිදහස් සෞඛ්‍ය තිබුණේ නැති වුණා නම් මේ වයස දක්වා ජීවත් වෙන්නේ නැහැ. මේ නිදහස් අධ්‍යාපනය තිබ්බේ නැතිනම් මේ තිබෙන සාක්ෂරතාව ලබා ගන්නේ නැහැ. නමුත් අවාසනාවකට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරනවා කියන පිරිසම මේවා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක නිරත වෙලා සිටිනවා. සෞඛ්‍ය අංශයේ ගැටලු තිබෙනවා. ඒවා මතුපිටට ඇවිල්ලා. හැබැයි එක්කෙනෙකුට ඇඟිල්ල දික් කරලා මේ ප්‍රශ්නය විසඳ ගන්න බැහැ. දේශපාලන වාසි තකාගෙන මේ ප්‍රශ්නය විසඳ ගන්නත් බැහැ. ඒකට හේතුව සෞඛ්‍ය වෛද්‍ය සේවාව පද්ධතියක්. මෙහි විවිධ මට්ටම්වල සේවය කරන පිරිස් සිටිනවා. විවිධ මට්ටම්වල සෞඛ්‍ය වෛද්‍ය පහසුකම් සපයන ආයතන තිබෙනවා. විශාල පරිපාලකයෝ පිරිසක් මේවගේ කටයුතු මෙහෙයවනවා. ඒ නිසා අපේ රටේ සෞඛ්‍ය වෛද්‍ය සේවාවට අවශ්‍ය හොඳ පද්ධති කළමනාකරුවෙක්. මේ පද්ධතිය තේරුම් අරගෙන මේ රටේ නිදහස් සෞඛ්‍ය බේරාගැනීමේ සටනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නවා.

ඒ නිසා අපට පෙනෙන්නේ අරගල කාලයේ ඇතැම් ප්‍රශ්න කරළියට ගෙනල්ලා විසඳන්න උත්සාහ කරපු ආකාරයට මේ පද්ධතියේ ඇතුළේ සිටින මිනිස්සු ආයතන එළියට අරගෙන මෙය විසඳන්න ගියොත් මේ රටේ නිදහස් සෞඛ්‍ය බිඳ වැටෙනවා. අපෙන් පසු පරම්පරාවට අපි තරම් ජීවත් වීමට තිබෙන කාලය ඉඩ ඇහිරෙනවා. පහුගිය දවස්වල පාර්ලිමේන්තු සංවාදවල දී කිසි කෙනෙක් ප්‍රශ්න ගැන කතා කරනවා මිසක් මෙයට තිබෙන උත්තරයක් ගැන කතා කළේ නැහැ. අපි විශාල ආර්ථික අර්බුද ගොඩක ඉන්නේ. සෞඛ්‍ය ඇමැතිත් පිළිගත්තා ප්‍රශ්න තිබෙනවා කියා. හැබැයි ජනතාව පීඩාවට පත්කර පීඩනයට ජනතාව කැඳවා මේ රටේ නිදහස් සෞඛය බිඳවැට්ටීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

මම දන්නේ නැහැ. ඒ කවුද කියලා කියන්න. ඉතාමත් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ආර්ථිකය පිළිබඳව විවිධ පැහැදිලි කිරීම් දැකලා ඇති. ඒ පැහැදිලි කිරීම් බොහෝමයක් අන්ධයා අලියගේ හැඩය කියන ආකාරයේ ඒවා.

ඒ නිසා අපි මතක් කරගන්න ඕනෑ මේ රටේ ආර්ථිකය හැසිරීම පිළිබඳව එක පැත්තකින් කතා කරලා උදම් අනනවා නම් ඒක සම්පූර්ණ අසත්‍යය කතාවක්.

අපි ආපු දුර ටිකයි. අපට යන්න තිබෙන දුර ගොඩයි. අපට පේනවා රාජ්‍ය මූල්‍ය පරිපාලනය පිළිබඳ පාර්ලිමේන්තුවේ වගකීම මිට වඩා තහවුරු වෙන්න ඕනෑ. රාජ්‍ය ආදායම උපයා ගැනීම සඳහා සංවේදී මාර්ග අපි හඳුනා ගන්න ඕනෑ. අපි අසංවේදී මූලාශ්‍ර යටතේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න ගියොත් අපි දරුණු ව්‍යසනයකට මුහුණ දෙනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය පිළිබඳව කපනවා කියලා හැම දෙයක්ම කපන්න බැහැ. මේ රටේ ජනගහනයෙන් 1/3 ට තමන්ගේ ජීවිකාව තහවුරු කරගන්න අවශ්‍ය කරන උපකාර අපි සැපයිය යුතුයි. ඒ නිසා අපි කප්පාදු කරනවා නම් සංවේදී විදිහට එය කළ යුතු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT