ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 66ක් ද විරුද්ධව ඡන්ද 24ක් ද හිමිවිය. පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව විවාදය අවසන් කිරීමෙන් පසුව පස්වරු 5.00ට පමණ ඡන්දය විමසීම සඳහා සීනුව නාද කිරීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය.
පනත් කෙටුම්පතට පක්ෂව ආණ්ඩු පක්ෂය සමඟ ඒ.එල්.එම්. අතාවුල්ලා, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා යන මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පතට විරුද්ධව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, උත්තර ලංකා සභාගය, නිදහස් ජනතා සභාව, දෙමළ ජාතික ජනතා පෙරමුණ ආදී පක්ෂ ඡන්දය ප්‍රකාශ කළහ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම්.ඒ. සුමන්තිරන්, අතුරලියේ රතන හිමි, පාඨලී චම්පික රණවක මහතා ඇතුළු මහජන නියෝජිතයින් ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේදී සභාවෙහි නොසිටියහ. පනත් කෙටුම්පත සඳහා දෙවැනි වර ඡන්ද විමසීමක්ද සිදු කළ අතර ඉන්පසු තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.