කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී 2019 වසරේ නොවැම්බර් මස පළමු වැනිදා නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ මහත්වරුන් පහරදීමක් කළ බවට වන සිද්ධිය නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝම්බර් මස 19 වැනිදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20) නියෝග කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේ නැති අතර ඔහු පාර්ලිමේන්තුවට සහභාගී වී ඇති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේය. සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.