(බස්නාහිර පළාතේ ප‍්‍රධානම දළදා පෙරහර වන වාද්දුව තල්පිටියේ දළදාවත්ත විහාරයේ 90 වැනි සාංවත්සරික මහා පෙරහර හෙට (22 )රාත්‍රී 8.00ට වීදි සංචාරය කිරීමට නියමිතය. මේ කෙටි ලිපිය ඒ නිමිත්තෙනි).
කෝට්ටේ රාජධානි සමයේ පෘතුගිසි ආක්‍රමණ හමුවේ දළදා වහන්සේ සීතාවක රාජධානියට රහසිගතව වැඩමවාගෙන යන අවස්ථාවේදී මේ විහාර භූමිය හා සම්බන්ධතාව ගොඩනැඟී තිබේ.
ක්‍රි.ව. 1800දී පමණ ඇරඹි මේ විහාරස්ථානය සියම් මහ නිකායට අයත් මහා විහාර සම්ප්‍රදාය පහතරට ප්‍රමුඛ පුණ්‍ය භූමියකි. අනුපේ සෝනුත්තර නාහිමි අලව්වේ ශ්‍රී රේවත නාහිමි ප්‍රමුඛ යතිවරුන් මේ විහාරයේ සමාරම්භය කළ අතර, 1933 දී දළදා පෙරහරේ ආරම්භය සිදු වේ. එවකට විහාරාධිපතිව වැඩ විසූ පනාගොඩ ධම්මරතන මාහිමියන්ගේ අනුශාසනා පරිදි මඩපාත සුමනජෝති හිමියන් ඒ සඳහා මූලික වී ඇත. කෝට්ටේ රාජධානි සමයේ දළදා මාලිගාව සඳහා තෙල් සැපයූ ගම්වරක් ලෙස මේ ප්‍රදේශය එකල හඳුන්වා තිබිණි. තෙල්පිටිය පසුකාලීනව තල්පිටිය බවට පත්වූ අතර දළදා පුද පූජා සඳහා බෙහෙවින් ඇප කැප වූ විහාරස්ථානයක් ලෙස ද එය හැඳින්විණි. එවකට දළදාවේ භාරකාරත්වය දැරූ හිරිපිටිය දියවඩන නිලමේ දෙල්ගමුව විහාරයට ගිය දකුණු ලක ආරක්ෂිත ගමන් මාර්ගයේදී අතරමඟ පිහිටි මේ දළදාවත්ත භූමියේ නාගස් බෙනයක දළදාව වඩා හිඳුවා තැබුවේය යන විශ්වාසය එදා සිට ජනප්‍රවාදගත විය.
දළදාවත්ත විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය 1933 සිට මේ දක්වාම මේ පෙරහරේ සංවිධාන කටයුතු සිදු කරයි. විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ තල්වත්තේ ඉන්ද්‍රජෝති නාහිමියන් මේ සඳහා දැරූ උත්කෘෂ්ඨ මෙහෙය ද අද්විතීයය. සාම්ප්‍රදායික නර්තන හා කලාංග මුසුවූ මේ පෙරහරේ සධාතුක කරඬුව මෙවර කෝට්ටේ රාජමහා විහාරයේ මංගල හස්ති රාජයා මත වැඩම කරවීමට නියමිතය. තල්පිටිය දළදා පෙරහරේ විශේෂත්වය වනුයේ වාද්දුව ගම් ප්‍රදේශයේ වෙසෙන සියලුදෙනාගේම නිවෙස් ඥාතීන්ගෙන් පිරී යෑමයි. බොහෝ දෙනා සිංහල අවුරුදු දිනයටත් වඩා මේ දිනය උත්කර්ෂයෙන් සැමරීම මෙහි අදටත් දැකිය හැකි දුර්ලභ සිද්ධියකි. දළදා පෙරහර ගමන් මාර්ගයේ සමීපස්ථව දේශීය අමුද්‍රව්‍ය යොදා මෙවරත් අලංකාර තොරණ දහයකටත් වැඩි සංඛ්‍යාවක් ඉදිව තිබීම ද විදෙස් සංචාරකයන් බහුල මේ ප්‍රදේශයේ ජන ආකර්ෂණයට හේතු වී ඇත.
වත්මන් විහාරාධිපති තල්පිටියේ චන්දරතන නාහිමි ප්‍රමුඛ මහ සඟරුවනේ කැපවීම ද මෙහිදී සිහිපත් කළ යුතුය. මහනුවර දළදා පෙරහර සම්ප්‍රදාය ආරක්ෂා කරමින් පවත්වන අත්‍යාලංකෘත දළදා පෙරහරක් ලෙස මෙය බොදු සසුනට ලබා දෙන සවිය සුළුපටු නොවේ.