Home » බිබිලේ නිධානයක් හාරා එමින් සිටි පිරිසක් මාවතගමදී පොලිසියට කොටු

බිබිලේ නිධානයක් හාරා එමින් සිටි පිරිසක් මාවතගමදී පොලිසියට කොටු

by mahesh
July 21, 2023 12:55 am 0 comment

ගයාන් කුමාර වීරසිංහ, කොටදෙණියාව සමූහ එම්. පී. කුමාර

බිබිලේ නිධානයක් හාරන්න ගොස් එමින් සිටියදී පොලිස් අණ නොතකා ගමන් කළ මෝටර් රථයක සිටි පස් දෙනකු මාවතගම පොලිසියත් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයත් එක්ව කළ විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

මාවතගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මාවතගම ජාතික පාසල අසල රැඳී සිටිමින් පසුගිය 18 වෙනිදා රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිට ඇත. එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු NW – KL 8468 අංකය දරන මෝටර් රථයටද එම නිලධාරීන් නතර කරන ලෙස සංඥා කර ඇතත් එය නොනවත්වා වේගයෙන් ධාවනය කර තිබේ. එහිදී පොලිස් නිලධාරීන්ද සිය යතුරුපැදිවල නැඟී එම රථය හඹා ගොස් මාවතගම නගරයේදී මෝටර් රථය නතර කර ඇත. එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි සිවු දෙනකු පලා ගොස් තිබේ. එක් අයකු පමණක් රථයේ රැඳී සිට ඇත. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහු රථයේ රියැදුරු බවය. ඒ වන විටත් ඔහු සිට ඇත්තේ මත්පැන් පානය කර වෙරි මතිනි.

දඹදෙණිය බංගලාවත්තේ පදිංචි 44 හැවිරිදි එම සැකකරු පොලිසිය විසින් එහිදී බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ. එවිට එහි තිබී කඩු 04ක්, පිපිරවීම් සඳහා යොදා ගන්නා විදුලි ඩෙටනේටර් 09ක්, ජෙලට්නයිට් කූරු 01ක්, ඩ්‍රිල් යන්ත්‍ර 03ක්, ඇමෝනියා කිලෝ 01යි ග්‍රෑම් 300ක්, ඇතුළු කැණීම් උපකරණ කිහිපයක් හමුවී ඇත.

ඒ අනුව මෙම පුද්ගලයාව පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝගයක් ලබාගෙන කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ද සමඟ වැඩිදුර විමර්ශනයන් කිරීමේදී හෙළිවී ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ පිරිස නිධානයක් ගොඩ ගැනීමට බිබිලට ගොස් නැවත එමින් සිටියදී මෙසේ පොලිස් අණ නොතකා ගමන් කර ඇති බවය.

මෝටර් රථයේ තිබී හමුවී ඇත්තේ නිධානය ගොඩ ගැනීමට ගල් තලාවක් කැඩීමට යොදා ගත් උපකරණ හා පුපුරණ ද්‍රව්‍යවලින් ඉතිරි වූ ප්‍රමාණයන්ය.

අත්අඩංගුවේ සිටි සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරුවලට අනුව මෝටර් රථයේ සිට පලා ගිය සැකකරුවන් සිවු දෙනාවද පෙරේදා (19) සවස වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් මීරිගම, අඹේපුස්ස, දඹදෙණිය හා කොටදෙණියාවේ පදිංචිකරුවන්ය. අවුරුදු 37, 39, 40 සහ 45 යන වයස්වල පසුවන මෙම සැකකරුවන්ගෙන්ද ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ ඔවුන් නිධානයක් ගැනීමට බිබිලට ගිය බවය.

මෙම සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT